රෆා නගරයෙන් වහාම යන්න !!



ඇමෙරිකාවෙන් සහ මිතුරු රාජ්‍යයන්ගෙන් එල්ල වන පීඩනය නොසලකා හරිමින් ගසාහි රෆා නගරයෙන් ඉවත් වන ලෙස පලස්තීන ජනතාවට දනවමින් ඊශ්‍රායල හමුදාව අත් පත්‍රිකා බෙදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් බැට කෑ පලස්තීන ජනතාව ආරක්‍ෂිත නවාතැන් ගෙන සිටින රෆා නගරයේ පූර්ණ ගොඩබිම් හමුදා මෙහෙයුමක් ආරම්භ වීමට ප්‍රථම නගරයෙන් ඉවත්වන්නැයි ඊශ්‍රායල හමුදාව අත් පත්‍රිකාවක් මගින් රෆා නගරයේ සිටින පලස්තීන ජනතාවට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම නිවේදනයත් සමඟ බියවූ දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව රෆා නගරයෙන් පළා යමින් සිටින බවත් රෆා නගරයෙන් පිටවන මාර්ග බාල සහ මහළු සියලු වයස් කාණ්ඩවලට අයත් පලස්තිනුවන්ගෙන් පිරී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.සෙනසුරාදායින් අවසන් වූ පැය 24 ක කාලය තුළදී රෆා නගරයේ සිටින ජනතාවගෙන් හරි අඩක් නගරයෙන් පිටවීම සඳහා මාර්ගවලට අවතීරණ වී ඇති බවත් එය සංඛ්‍යාවක් ලෙස 280,000ක් පමණ වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

වාහන වලට පටවා ගත හැකි දේ පටවා ගෙන එම ජනතාව පාරට බැස ඇති බවත් බොහෝ වාහන ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් අර්ධ වශයෙන් විනාශ වූ ඒවා බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේය.රෆා නගරයේ සිට ගාසා තීරය දෙසට පිවිසෙන මාර්ග ඊශ්‍රායල හමුදා අත්පත් කරගෙන ඇති බැවින් ඊජිප්තු දේශ සීමාවේ පිවිසුම් අසල විශාල තදබදයක් ඇති වී ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS