නෙදන්යාහුට විරෝධයක්: ඊශ්‍රායල වැසියෝ වීදි බසිති



ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සහ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඉතිරි ප්‍රාණඇපකරුවන් වහා මුදා ගන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජයට බල කරමින් ඊශ්‍රායල වැසියෝ වීදි බැස සිටිති.

දහස් ගණනක් ඊශ්‍රායල වැසියෝ, ඊයේ (1) දිනයේ ද, ඊශ්‍රායල ධජ අතැතිව, ටෙල් අවීව්, ජෙරුසලම ඇතුළු ඊශ්‍රායලයේ ප්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා පෙළපාළි පැවැත්වූහ. කලහකාරීව හැසිරුණු බොහෝ දෙනකු පොලිස් අත්අඩංගුවට ගැනුණි.

ඊශ්‍රායල වැසියන් මේ අයුරින්, විරෝධය පළ කළේ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි, ඊශ්‍රායලයේ දී අල්ලා ගත්, ප්‍රාණ ඇපකරුවන් හය දෙනකු මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. එම හය දෙනා ද, ඉකුත් වසරේ ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී ප්‍රාණ ඇපයට පත්ව ඊශ්‍රායල වැසියන්ය.

එම හය දෙනා අතරේ අවුරුදු 23 ක ඇමෙරිකන් ජාතික තරුණයෙක් ද සිටී. හය දෙනා ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයට නතු වූයේ ඔවුන් සංගීත ප්‍රසංගයක් නරඹමින් සිටිද්දීය. ඔවුන් මියගියේ ඊශ්‍රායල හමුදා දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් යැයි විරෝධතා පවත්වන ඊශ්‍රායල වැසියෝ චෝදනා කළහ.
මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කළේ හමාස් සංවිධානය සමඟ කිසිදු ආකාරයක ගනුදෙනුවක් සිදු නොකරන බවත්, ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නවත්වන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා බවත්ය.

ඇමරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී, ඊශ්‍රායල හමාස් ගැටුම් නැවැත්වීමට සාම වැඩපිළිවෙළක් සකස් කර ඇති නමුත්, එය ද අසාර්ථක වී තිබේ. හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි එම ප්‍රාණඇපකරුවන් හය දෙනාගේ සිරුරු ඊශ්‍රායල හමුදාව සොයා ගත්තේ රෆා නගරයට යටින් ඉදි කර තිබුණු උමං මාර්ගයකිනි. එම හය දෙනා අතරේ සිටි අවුරුදු 23 ක් වයසැති ඇමෙරිකන් තරුණයා හර්ෂ් ගෝල්ඩ්බර්ග්ය. මම තරුණයා ගැන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කනස්සල්ල පළ කර තිබේ. ඊට අමතරව, හර්ෂ් ගෝල්ඩ්බර්ග් සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරණ වේදිකාවේ ද කතාබහක් සිදුවෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS