කැරලිකරුවන් පහරදුන් තෙල් නැවෙන් තෙල් කාන්දුවක්:



රතු මුහුදේ යාත්‍රා කරද්දී, ග්‍රීසියට අයත්, ‘එම්.වී. සෝනියන්’ නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවට යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරයෙන් නෞකාවට දරුණු හානි සිදුවුණු අතර, මේ වනවිට නෞකාවෙන් තෙල් කාන්දු වීමට පටන්ගෙන ඇත. ප්‍රහාරය එල්ල වෙද්දී, ‘එම්.වී. සෝනියන්’ නෞකාව, ඉන්ධන ටොන් 1,50,000 ක් ප්‍රවාහනය කරමින් තිබුණු බව ද විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්ධන කාන්දුව බරපතළ බවත්, එය මහා සාගර විනාශයකට හේතුවක් වනු ඇති බවත්, පරිසරවේදීහු බිය පළ කරති. ඉතිහාසයේ දරුණුතම තෙල් කාන්දුව මෙය වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

යේමනයේ ක්‍රියාත්මක, ඉරාන හිතවාදී, ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන්, අවට මුහුදේ යාත්‍රා කරන බටහිර රටවලට අයත් නැව්වලට පහර දෙයි. ඒ, ඊශ්‍රායලයට විරෝධය දැක්වීමක් ලෙසය.

හවුති කැරැලිකරුවන් ඊශ්‍රායලයට විරෝධය දක්වන්නේ, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම හේතුවෙනි. මේ වනවිට පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති පලස්තීන සිවිල් වැසියන් ගණන 45,000 පසු කර ඇත.


RECOMMEND POSTS