නිමාවක් නැති වෙනිසියුලා අර්බුදය



විසි පස් වසරක් තිස්සේ බලයේ සිටින එක්සත් සමාජවාදී පක්ෂයේ ජනප්‍රියත්වයත්, වසර 11 ක් තිස්සේ ජනාධිපති ධුරයේ රැඳී සිටින නිකොලස් මදුරෝගේ ජනප්‍රියත්වයත් උරගා බැලීම සඳහා, පසුගිය ජූලි 28 වැනිදා වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පැවැත්විණි. එම ජනාධිපතිවරණයෙන් ද, 1999 වසරේ සිට වසර 14 ක් තිස්සේ වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස ආධිපත්‍යය පතුරුවාලමින් සිටි හියුගෝ චාවේස්, 2013 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු, ඔහුගේ දෙවැනියා සහ අනුප්‍රාප්තිකයා ලෙස එම ධුරයට තේරී පත්වුණු මදුරෝට තවත් ධුර කාලයක් හිමිවිය.

ජනාධිපතිවරණයෙන්, මදුරෝ සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තේය. මදුරෝ සිය ජය සමරද්දී, ජනාධිපතිවරණ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වංචනික අයුරින් වෙනස් කරන ලද අසත්‍ය එකක් යැයි වෙනිසියුලා විපක්ෂය චෝදනා නගන්න පටන් ගත්තේය. සුපුරුදු පරිදි, පැවැති ජනාධිපතිවරණය සාධාරණ එකක් නොවූ බවට ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යයද චෝදනා නගන්න විය. වෙනිසියුලා ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ජනාධිපති මදුරෝගේ ප්‍රතිවාදී අපේක්ෂකයා එඩ්මුන්ඩෝ ගොන්සාලේස් උරූෂියා බව ඇමෙරිකාව පවසා තිබේ.  විපක්ෂයට සහාය දක්වන වෙනිසියුලා වැසියන් දහස් ගණනක් එරට කැරැකස් අගනුවරට රැස්වී මදුරෝට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබේ. මේ වනවිටත් එම විරෝධතා පැවැත්වෙයි. රජයට එරෙහිව විරෝධතා පැවැත් වූ දහස් ගණනක් මේ වනවිට සිටින්නේ පොලිසියේය. කැරැලි මර්දන පොලිසිය එල්ල කළ ප්‍රහාරවලින් මියගිය විරෝධතාකරුවන් ගණන 15 කි.

වෙනිසියුලාවේ මැතිවරණය ජාතික මට්ටමින් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා සහ රජයේ ප්‍රධානියා ලෙසත්, ඒකමණ්ඩල ව්‍යවස්ථාදායකයක් සඳහාත් පැවැත්වේ. වෙනිසියුලාවේ ජනාධිපතිවරයා සෘජු මැතිවරණ බහුතර ඡන්දයෙන් වසර හයක ධුර කාලයක් සඳහා තේරී පත් වන අතර නැවත තේරී පත්වීමට සුදුසුකම් ලබයි. ජාතික සභාවට සාමාජිකයන් 277 ක් ඇත. මිශ්‍ර-මන්ත්‍රී බහුතර නියෝජන ක්‍රමයක් භාවිතයෙන් වසර පහක වාර සඳහා තේරී පත් වෙයි. මැතිවරණ රාජ්‍ය මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් ද පැවැත් වෙයි. 1998 වසරේ සිට වෙනිසියුලාවේ මැතිවරණ ස්වයංක්‍රීය කර ඇත (ඡන්දදායක සත්‍යාපනය කළ කඩදාසි විගණන මාර්ගයක් සපයන ස්පර්ශ තිර ඡන්ද යන්ත්‍ර භාවිතා කරමින්), සහ ජාතික මැතිවරණ කවුන්සිලය විසින් පරිපාලනය කරනු ලැබේ. ඡන්දය ප්‍රකාශ කිරීමට අවුරුදු 18 පසු කළ යුතුය.

වෙනිසියුලාව අතීතයේ ස්පාඤ්ඤ යටත් විජිතයකි. අද එරට නිල භාෂාව වන්නේ ස්පාඤ්ඤ ය. වෙනිසියුලාවට ස්පාඤ්ඤයෙන් නිදහස හිමිවූයේ 1811 දීය. වෙනිසියුලාවේ දේශපාලනය නාමිකව ෆෙඩරල් ජනාධිපති ජනරජයක් යටතේ ක්‍රියාත්මක වන නමුත් ප්‍රායෝගිකව එය ඒකාධිපති පාලන ක්‍රමයකි. 1990 දශකයේ මුල් භාගයට පෙර, වෙනිසියුලාව ලතින් ඇමරිකාවේ ස්ථාවර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රාජ්‍යයක් සෙල සැලකිණි. ඒ, 1985 දී ප්‍රජාතන්ත්‍රවාදයට සංක්‍රමණය වීමෙන් අනතුරුවය. කෙසේ නමුත් 2023 වසර වෙද්දී, සමීක්ෂණ අනුව, ලතින් ඇමෙරිකා රටවල් අතරින් ප්‍රජාතන්ත්‍රවාදයක් දකින්න නොලැබෙන රට බවට වෙනිසියුලාව දැන් පත් වී තිබේ.

සමාජවාදියකු සහ ජනතාවාදියකු ලෙස හියුගෝ චාවේස් එරට ජනාධිපති ධුරයට පත් වූයේ 1998 ජනාධිපතිවරණය ජය ගනිමිනි. ලක්ෂ ගණනක් දුගී දුප්පත් ජනතාවගේ අපරිමිත ගෞරවාදරය චාවේස්ට හිමිවිය. චාවේස්, වෙනිසියුලාව තුළ සමාජවාදය ගොඩනැඟීමට කටයුතු කළ අතර එය එරට ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය සනිටුහන් කිරීමක් යැයි බටහිර දේශපාලන විචාරකයෝ පැහැදිලි කරති. චාවේස්ගේ ජයග්‍රහණයෙන් පසුව, දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා නොවන ආකාරයේ, නිදහස් සහ සාධාරණ මැතිවරණ නොපැවැත්වෙන ආකාරයේ ඒකාධිපති පාලනයක් වෙනිසියුලාවේ ආරම්භ වූ බවට ද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් චෝදනා නැගෙයි.

වේගයෙන් සංවර්ධනය වන වෙනත් රටවල මෙන් කෝටි ප‍්‍රකෝටිපතියන් බිහි වීමට හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් අනුගමනය නොකළ බැවින්, චාවේස් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහ ඇමෙරිකා බැංකුකරුවන්ගේ මිතුරෙකු නොවීය. චාවේස්ගේ මූලික පරමාර්ථය වූයේ සමෘද්ධිමත් කැරැකස් නගරය වටාත් වෙනිසියුලාවේ වෙනත් ප‍්‍රදේශ වලත් දරිද්‍රතාවයේ පතුළටම කිඳා බැස සිටි අසරණ ජනතාවට වඩාත් යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ ආර්ථික පදනම ශක්තිමත් කිරීමය. ලතින් ඇමෙරිකාවේ තෙල්වලින් පොහොසත් රාජ්‍යයක් වුවත්, එම තෙල් ආදායම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට වෙනිසියුලා රජය අපොහොත් විය.

චාවේස්ගේ පාලනය යටතේත් මෙන්ම ඔහුගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස බලයට ආ  වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝගේත් පාලනය යටතේත්, රටේ සියලු බලතල විධායකයට පමණක් සීමා විය. රාජ්‍ය ආයතන සියල්ල ජනාධිපති ගන්නා තීරණවලට යටත් වෙයි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් නිර්දය ලෙස මර්දනයට ලක් වෙයි. කොංග්‍රසය (පාර්ලිමේන්තුව), අධිකරණය, රජයේ අධීක්ෂණ ආයතන, නිදහස් මාධ්‍ය, රජයට අයත් එරට පෙට්‍රෝලියම් සමාගම පමණක් නොව, රටේ හමුදාව ද විධාකයට යටත් වෙයි.

නිකොලස් මදුරෝ නායකත්වය දෙන්නේ ද එක්සත් සමාජවාදී පක්ෂයටය. වෙනිසියුලාවේ දේශපාලනය කේන්ද්‍රගත වී ඇත්තේ ද එක්සත් සමාජවාදී පක්ෂය වටාය. මදුරෝට අභියෝග කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ විපක්ෂ දේශපාලන නායකයන්ට විවිධ හේතු මධ්‍යයේ ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වීම තහනම් කෙරේ. එවැනි පක්ෂ තහනම් කෙරේ. මේ හේතුව නිසා, නිදහස් සාධාරණ ජනාධිපතිවරණ නොපැවැත්වෙන නිසා, විපක්ෂ නායකයෝ ජනාධිපතිවරණ වර්ජනය කරති. එක්සත් සමාජවාදී පක්ෂය පිහිටුවීම සිදුවූයේ 2007 වසරේදීය. ඒ හියුගෝ චාවේස්ගේ බොලිවියානු විප්ලවයට සහාය දක්වන කුඩා දේශපාලන පක්ෂ ගණනාවක් ද එකතු කර ගනිමිනි. එක්සත් සමාජවාදී පක්ෂය සහ එහි පූර්වගාමීන්, 1998 වසරේ සිට ජනාධිපති ධූරය සහ ව්‍යවස්ථාදායකයේ බලතල හොබවා තිබේ. වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින්, දැඩි ලෙස මර්දනයට ලක්වන එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව නිර්මාණය කර ගත්තේ, 2008 වසරේදීය. එහෙත් චාවේස්ට අභියෝගයක් වීමට මෙම විපක්ෂ සන්ධානයට හැකියාව ලැබුණේ නැත.

විකිපීඩියා ඇසුරිනි


RECOMMEND POSTS