හිස්බුල්ලා සාමාජිකයෝ නව දෙනෙක් මරුට



ලෙබනන් දේශසීමාවේ හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් හිස්බුල්ලා සාමාජිකයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවය.

ඊශ්‍රායල හමුදා ලෙබනන් දේශසීමාවේ ප්‍රහාර වැඩි කළේ, ඊශ්‍රායලය සමඟ යුද වැදීමට තමන්ට බියක් නැති බව ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා පැවැසීමත් සමඟය.

ඊශ්‍රායලයට බියක් නොමැති බවත්, ඊශ්‍රායලය සමඟ යුද නැදීමට තමන් පියවර ගන්නා බවත් හසන් නසරල්ලා පැවැසුවේ, ඊශ්‍රායල හමුදා ලෙපනනයේ බේරූට් නුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරෝරී ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

සාලේ අල් අරෝරී, ඝාතනයට ලක් වූයේ ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරයකිනි. එම ප්‍රහාරයෙන් සාලේ අල් අරෝරී ට අමතරව, තවත් හමාස් සාමාජිකයන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. එම සාමාජිකයන් පස් දෙනා අතරේ හමාස් අණ දෙන නිලධාරීන් දෙදෙනෙක් ද සිටිති.

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරෝරී, ඉලක්ක කර ගනිමින් තමන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේ යැයි ඊශ්‍රායලය නිල වශයෙන් කිසිවක් පවසා නැත.

හමාස් සංවිධානය ගාසා තීරයේ බලයට ආවේ 2007 වසරේ ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ ඡන්දයෙනි. එදා සිට ගාසා තීරය පාලනය කරන්නේ හමාස් සංවිධානයයි. හමාස් සංවිධානය දේශපාලනික අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය.

57 හැවිරිදි සාලේ අල් අරෝරී, හමාස් සංවිධානයේ දේශපාලනික අංශයේ නියෝජ්‍ය ප්‍රධානියාය. හමාස් සංවිධානයේ, සන්නද්ධ අංශයේ, ක්වසාම් බි්‍රගේඞ් නමැති බලඇණිය පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ සාලේ අල් අරෝරීය.
සාලේ අල් අරෝරී වසර 15 ක් ඊශ්‍රායල බන්ධනාගාරයක සිර දඬුවම් විඳි අයෙකි. නිදහස ලැබීමෙන් පසු ලෙබනනයට පිටුවහල් වුණු සාලේ අල් අරෝරී, බීරූට් අගනුවර පදිංචි වී සිටියේය.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ගැටුම් ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමෙන් පසුවය. ඊශ්‍රායල හමාස් ගැටුම් ආරම්භ වීමට පෙර සිටම, සාලේ අල් අරෝරී ඝාතනය කරනවා යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තර්ජනය කර තිබුණි.

ඊශ්‍රායලය පමණක් නොව, ඇමෙරිකාව සහ යුරෝපා බටහිර රටවල් බොහොමයක් හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුන්වා දී තිබේ. 2015 දී ඇමෙරිකාව, සාලේ අල් අරෝරී, ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරමින්, ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ලබා දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් ලබා දෙන බව පවසා තිබුණි.


RECOMMEND POSTS