තුර්කි පාර්ලිමේන්තුවේ ගුටිබැට



තුර්කි රජයට එරෙහිව විරෝධතා සංවිධානය කරමින් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාවට බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයකුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරයකු කළ ඉල්ලීමත් සමඟ තුර්කි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවූවේය.

එරට කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අහමට් සික් ඔහුගේ දේශනය අතරතුර මෙම ඉල්ලීම කර ඇති අතර එම ඉල්ලීම සිදුකිරීමෙන් පසුව වේදිකාව වෙත පැමිණි තුර්කි පාලක පක්ෂය වන යුක්තිය සහ සංවර්ධනය පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට පහර දීමට උත්සාහ කිරීමත් සමග ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇත.

ගුටි බැට හුවමාරුව ආරම්භවීමත් සමඟ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ගුටිබැට හුවමාරුවට සම්බන්ධ වූ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ගුටිබැට හුවමාරුව නැවැත්වීමට උත්සාහ දැරුවේය. තුර්කි පාර්ලිමේන්තුවේ දේශන පවත්වනු ලබන්නේ සුදු පැහැති වේදිකාවක් මත වන අතර ගුටිබැට හුවමාරුවෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරුන්ගේ ලේ එම වේදිකාව මත වැටී තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නියෝජ්‍ය කතානායකවරයා ගුටිබැට හුවමාරුව ආරම්භ වීමත් සමඟ විනාඩි 45 කට පාර්ලිමේන්තුව කල් තැබුවේය


RECOMMEND POSTS