මුත්‍ර පානය කරන්න දෙන ඇඳුම



ගගනගාමියකු වී අභ්‍යවකාශයට යෑම ලේසි පහසු කටයුත්තක් නොවෙයි. උගත්කම, දැනුම, බුද්ධියට අමතරව, දරා ගැනීමේ ශක්තිය සහ ඉවසා සිටීමේ ශක්තියත් තිබිය යුතුය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ රඳවා තිබෙන්නේ, කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින්, පෘථිවි කක්ෂයේ. ඇමෙරිකාවේ නාසා ආයතනය සහ රුසියාවේ රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය පුරෝගාමී වෙමින් ආරම්භ කළ මෙම නැවතුම්පොළ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බවට පත්වූයේ තවත් රටවල් බොහොමයක් ඒ හා සම්බන්ධ වුණු බැවිනි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ එක්තරා ආකාරයකට යෝධ පර්යේෂණාගාරයක් වැනිය. මාස හයෙන් හයට පෘථිවියේ විවිධ රටවල අභ්‍යවකාශ ආයතන නියෝජනය කරමින් (චීනය හැර) ගගනගාමීන්, නැවතුම්පොළට ගොස් එහි රැඳී සිටින්නේ විවිධ පර්යේෂණ කටයුතුවල යෙදෙමිණි. ගගනගාමීහු අභ්‍යවකාශ නැවතුම්පොළ ඇතුළේ පමණක් නොව, නැවතුම්පොළෙන් පිටතට ගොස් ගගන සක්මන්වල යෙදෙමින්, අභ්‍යවකාශයේ සිට නැවතුම්පොළේ අලුත්වැඩියා කටයුතු පවා සිදු කරති. ගගනගාමීන් වැසිකිළි යන්නේ කෙසේද? තරමක් විශාල, ගගන ඇඳුම් කට්ටලවලින් සැරසී, හෙල්මට්වලින් මුහුණු ආවරණය කරගෙන, ඔක්සිජන් ටැංකි එල්ලාගෙන, නිහඬ නිසසල අභ්‍යවකාශයේ කිසියම් වැඩක නියැළෙද්දී මූත්‍ර බරක් ආවොත්, මොකද කරන්නේ?

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටිද්දී ගගනගාමීන්ට වැසිකිළි යෑමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා වැසිකිළි පහසුකම් ඇත. අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණයක් නැති නමුත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ කෘත්‍රිමව ගුරුත්වාකර්ෂණයක් ඇති කිරීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. ඒ, එක්තරා නියමිත ප්‍රවේගයකට නැවතුම්පොළ භ්‍රමණය වීමට සලස්වා ඇති බැවිනි. එසේ වුවත්, ගගනගාමීන්ට පාවෙමින්, ඔවුන්ගේ කටයුතු කිරීම අසීරුය. ගගනගාමියකු වීමට මනා පුහුණුවක් ලැබෙන්නේ ද මේ නිසාය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ වැසිකිළි පද්ධතියක් ඇත. මෙම වැසිකිළියක ආසන පටි ඇති අතර, වැසිකිළි යෑමේදී ආසන පටි පැලඳ සිටීම අනිවාර්ය වෙයි. නැතිනම් සිදුවන්නේ ජංජාලයකි. ආරම්භයේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ පිරිමි ගගනගාමීන් සඳහා පමණක් වැසිකිළි පැවැතියත්, මේ වනවිට ගගනගාමිනියන් සඳහා ද වැසිකිළි නිර්මාණය වී තිබේ. බැහැර කෙරෙන අපද්‍රව්‍ය පෘථිවිය දෙසට විසි කරයි. පෘථිවි වායුගෝලයේ දී ඒවා දැවී අළු වී යයි. අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයකින් සැරසී සිටිද්දී මූත්‍ර බරක් දැනුනොත් කළ හැකි දෙයක් නැත. අභ්‍යවකාශයේ සිටිද්දී ගගන ඇඳුම ගැලවිය නොහැකිය. එහෙයින් ඇඳුමේ මූත්‍ර කර ගැනීමට සිදුවෙයි. ගගන ඇඳුම් නිර්මාණය කර ඇත්තේ ඒ අයුරිනි. ගගනගාමීහූ ගගන ඇඳුමින් සැරසෙද්දී, එම ඇඳුමට අදාළ ඩයිපර් පලඳිති. මූත්‍ර එකතු වීම සිදුවන්නේ ඩයිපරයටය.

අභ්‍යවකාශයේ රැඳී සිටින ගගනගාමීනට පානීය ජල භාවිතය ගැටලුවකි. වතුර බෝතල් එල්ලාගෙන ඔවුන්ට ඔවුන්ගේ කටයුතුවල යෙදීම කළ නොහැකිය. එබැවින්, පිටවන මූත්‍ර පෙරා, පිරිසුදු කර යළි පානය කිරීමට හැකි අයුරින් සකසා ගැනීම කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මීට වසර ගණනකට පෙර සිටය. දැන් එය යථාර්ථයක් වෙමින් පවතී. ඇමෙරිකාවේ නිව්යෝක් කෝනෙල් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන්, මූත්‍ර පෙරා ජය පානයට සුදුසු ජලයට බවට පත් කිරීමේ උපාංගයක් නිර්මාණය කර ඇත. මෙම උපාංගය එසේත් නැතිනම් ෆිල්ටරය (පෙරනය) ගගන ඇඳුම් කට්ටලය හා සම්බන්ධ කළ හැකිය. සරලව පැහැදිලි කළොත්, පැය ගණනක් ගගන ඇඳුම් කට්ටලයෙන් සැරසී සිටිද්දී, ඩයිපරයට එකතු වන මූත්‍ර මෙම උපාංගය හරහා පිරිසුදු කිරීම සිදුවෙයි. කෝනෙල් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් නිර්මාණය කළ ෆිල්ටරයේ පර්යේෂණ නිර්මාණය සිදුවන්නේ, අදියර දෙකකිනි. මේ වනවිට ඒ මගින් මූත්‍ර සියයට 87කින් පිරිසුදු කර ජලය ලබා ගැනීමට හැකි බව පැවැසෙයි. ඉදිරියේ දී එය සියයට 100 ක් කර ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

තව වසර දෙකකින්, 2025 දී සඳ තරණයෙන් පසු, ඇමෙරිකා නාසා ආයතනයේ මීළඟ ඉලක්කය අඟහරු හෙවත් රතු ග්‍රහයාය. සඳට යෑම මෙන් නොව, අඟහරු වෙත යෑම අසීරුය. පෘථිවියේ සිට අඟහරු බලා යෑමට වසර දෙක තුනක් ගත වනු ඇත. එය මනුෂ්‍ය ශරීරයට, කායිකව හෝ මානසිකව දරා ගැනීමට නොහැකි ආකාරයේ ගමනකි. අඟහරු යද්දී නොකා නොබී යන්න බැහැ ඒ නිසා කෑම බීම රැගෙන යෑමටත් සිදුවේවි. එය ද විශාල ගැටලුවකි. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය ඉතා වැදගත් වේවි. පෘථිවියේ සිටිද්දී අප සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටරයක් හෝ පානය කරයි. නිරෝගීව සිටීමට නම් එසේ කළ යුතුය. අභ්‍යවකාශයේදී දිනකට පානය කළ යුතු ජලය ලීටර් ප්‍රමාණය ඊට වැඩිය. ගගනගාමීන් කිහිප දෙනකුට දින 1,000 ක් තිස්සේ අඟහරු වෙත ගගන චාරිකාවක යෙදෙනවා නම්, ජලය ලීටර් 55,000 ක් අවශ්‍ය වනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ගගනගාමින්ට අවශ්‍ය ඔක්සිජන්, ආහාර පමණක් නොව බීමට ජලය ද පටවාගෙන යෑම අධික වියදමකි. එපමණක් නොව, එවැනි ලොකු බරක් රැගෙන යෑමට අභ්‍යවකාශ යානයක් නිපදවීම ද ගැටලුවකි. බර වැඩි වෙද්දී, ඉන්ධන භාවිතය වැඩි වෙයි. ගගනගාමීන් පානය කරන ජල ප්‍රමාණය අඩු කළොත් එය සහනයකි. දිනපතා ඔබ ලීටරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මූත්‍ර පිට කරයි. එය සාමාන්‍ය ක්‍රියාවලියකි. බීමට ජල පොදක් නැති වුවත් අප මූත්‍ර බීමට යොමු වන්නේ නැහැ. එහෙත් අනාගතයේ අඟහරු යන හෝ අභ්‍යවකාශයේ දිගු කාලයක් රැඳී සිටිමට හෝ සිදුවන ගගනගාමීන්ට මූත්‍ර පෙරා පානය කිරීමට සිදුවනු ඇත. කෝනෙල් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන්ගේ ෆිල්ටරය ඊට උපකාරී වනු ඇත. මූත්‍ර පානය සිදුවන්නේ මූත්‍ර ඉතා හොඳින් පෙරා පිරිසුදු කිරීමෙන් පසුවය. සුවඳක් හෝ රසක් හෝ ඇත්තේ නැත. ඒ නිසා මූත්‍ර බොනවා යැයි හැඟීමක් දැන්නේ ද නැත.

කෝනෙල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ ෆිල්ටරය ගගන ඇඳුම් කට්ටල වෙනුවෙන් නිර්මාණය කෙරුණත්,  මේ වනවිටත් නාසා විද්‍යාඥයන්, මූත්‍ර පෙරා පිරිසුදු කිරීමේ නව පද්ධති කීපයක් නිර්මාණය කර තිබේ. එම නව පද්ධති ද තවමත් පවතින්නේ අත්හදා බැලීමේ මට්ටමේය. අත්හදා බැලීම් කටයුතු උඩු ගුවනේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේදී සිදුවෙයි. ඊට අමතරව, අභ්‍යවකාශ නැවැතුම්පොළේ නොයෙක් නොයෙක් කටයුතු සඳහා භාවිතයට ගන්නා ජලය ද පිරිසුදු කිරීමේ පද්ධතියක් වෙනම පිහිටුවා ඇත. මෙම පද්ධතිය අභ්‍යවකාශ නැවැතුම්පොළට එක් කෙරුණේ 2008 වසරේදීය.

නිව් සයන්ටිස්ට් ඇසුරිනි


RECOMMEND POSTS