නෙදන්යාහු සමාව ඉල්ලයි



හමාස් ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඒ සම්බන්ධයෙන් තමන්ට සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙසේ සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් කළේ, හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන්, ඊශ්‍රායල වැසියන්ගෙන් නෙදන්යාහුට දොස් අසන්න වීමත් සමඟය.

හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නැයි ඊශ්‍රායල වැසියෝ දිගින් දිගටම නෙදන්යාහුට බල කරති. පසුගිය දින කීපයේ ඊශ්‍රායලයේ ප්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා පැවැත්විණි. ඒ, හමාස් ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිරුපද්‍රිතව මුදා ගන්නැයි බල කරමිනි. ඊශ්‍රායල වෘත්තීය සංගම් එක් වී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ද ආරම්භ කර තිබේ.

ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් තමන්ට සමාව දෙන්නැයි නෙදන්යාහු ඉල්ලීමක් කළත්, හමාස් සංවිධානය සමඟ දිගින් දිගටම සාකච්ඡා පවත්වා ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නා බව නෙදන්යාහු පවසා නැත. 

මේ අතර, හමාස් සංවිධානයට එරෙහි සටනේ දී ඊශ්‍රායලට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවා පවසා ඇත්තේ, හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට නෙදන්යාහු නිසි ක්‍රියා මාර්ග අනුගමනය කර නැති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS