වේගයෙන් යන අද්භූත වස්තුව



තරුවක් නොවන, ග්‍රහලෝකයක් ද නොවන අද්භූත අභ්‍යවකාශ වස්තුවක් හඳුන්වන්නේ කෙසේද? මේ කියන්න හදන්නේ එම වස්තුවක් ගැන තමයි. විද්‍යාඥයන් සොයා ගත් මේ අපූරු ග්‍රහ වස්තුව, තරුවක් සහ ග්‍රහලෝකයක් අතරේ, අතරමැදි අවස්ථාවකි. මේ ග්‍රහ වස්තුවේ විශේෂත්වය වන්නේ මෙය කිසිදු තාරකාවක් වටා පරිභ්‍රමණය නොවීමය. මේ අද්භූත ආකාරයේ අභ්‍යවකාශ වස්තුවෙන් දත්ත ලබා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වූ අතර, මේ අද්භූත වස්තුව, අප මන්දාකිණිය හරහා පැයට කිලෝ මීටර් මිලියන 1.9 ක වේගයකින් ගමන් කරන බව පැවැසෙයි. 

මේ අද්භූත වස්තුවට ඇත්තේ තාරකාවක් සහ ග්‍රහලෝකයක් අතර මැද ස්කන්ධයක් බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඒ නිසාම තාරකා විද්‍යාඥයන් මෙවැනි වස්තූන් හඳුන්වන්නේ අසාර්ථක තාරකා Failed Stras යනුවෙනි. එසේත් නැතිනම් දුඹුරු වාමනයන් Brown Drawf යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙවැනි වස්තූන්ය. දුඹුරු වාමනයකුට විශේෂිත වූ ප්‍රධාන සාධක කීපයක් තිබේ. ස්කන්ධය සහ ප්‍රමාණය, දීප්තිය සහ උෂ්ණත්වය, වර්ණාවලි විහ්ලේෂණය, ශුන්‍ය න්‍යෂ්ටික වියලනවය සහ ආයු කාලව යනු එම සාධකය. 

එම සාධක එකිනෙක විමසා බලමු. දුඹුරු වාමනයකු වීමට නම්, එම වස්තුවේ ස්කන්ධය බෘහස්පතිගේ ස්කන්ධය මෙන් 13 ගුණයක සිට 80 ගුණයක් තෙක් වැඩි විය යුතුය. බෘහස්පති යනු අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන අතර, බෘහස්පති වායු යෝධයෙකි. අබ්‍යවකාශ වස්තුවක්, බෘහස්පතිගේ ස්කන්ධය මෙන් පස් ගුණයකින් හෝ 12 ගුණයකින් යුක්ත නම්, විද්‍යාඥයන් එය වර්ගීකරණය කරන්නේ වායු යෝධයකු නැතිනම් වායුමය ග්‍රහලෝකයක් යනුවෙනි. ස්කන්ධය 80 ගුණයකට වඩා වැඩි නම්, 100 ගුණයක් පෙන්වන්නේ නම්, එය වාමන තාරකාවක් බවට පත්වීමේ වැඩි ඉඩක් ඇතැයි ද පැවැසෙයි.

නිකුත් වන ආලෝකය සහ උෂ්ණත්වය අනුව ද දුඹුරු වාමනයකු වීම තීරණය කරයි. සාමාන්‍යයෙන් දුමුරු වාමනයකු යැයි හඳුන්වන වස්තුවක උෂ්ණත්වය තිබිය යුතු වන්නේ කෙල්වින් 300 සිට කෙල්වින් 2500 දක්වා මට්ටමකය. උෂ්ණත්වය කෙල්වින් 300 ට වඩා අඩු නම් ග්‍රහවස්තුවක් බවට ද 2500 සීමාවට වැඩි නම් තරුවක් බවට ද පත්වීමට ඉඩ තිබේ. දුඹුරු වාමනයන් සොයා ගැනීමට හැකිවන්නේ අධෝරක්ත ආලෝකයෙනි. එයින් අදහස් වන්නේ, දුඹුරු වාමනයකුගෙන් නිකුත් වන්නේ අඩු ආලෝකයක් යන්නයි.  

අලුතින් විද්‍යාඥයන්ට හමුවුණු මෙම දුඹුරු වාමනයා, ශබ්දයේ වේගය මෙන් 1500 ගුණයක වේගයක් රඳවා ගනිමින්, අප මන්දාකිණිය හරහා ගමන් කරයි. කලින් සඳහන් කළ ආකාරයට එය පැයට කිලෝ මීටර් මිලියන 1.9 ක වේගයකි. ඒ අනුව, තවත් වසර කීපයකින් මෙම දුඹුරු වාමනයා මන්දාකිණියෙන් ඉවතට විසිවී යනු ඇත. අලුතින් සොයා ගත් මේ දුඹුරු වාමනයා තාරකා විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත්තේ cwisej1249+3621 යන කේත නාමයෙනි. මෙය සොයා ගන්නා විට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400 ක් දුරින් ගමන් කරමින් සිටි බව ද පැවැසෙයි. ආලෝක වර්ෂ යනු විශ්වයේ දුර මනින ඒකකයයි. 

අපගේ සූර්යයාගේ ස්කන්ධය සියයට 100 ක් යැයි සිතමු. එසේ නම්, cwisej1249+3621 දුඹුරු වාමනයාට ඇත්තේ සියයට 8 ක් වැනි ස්කන්ධයකි. ඒ අනුව මෙම දුඹුරු වාමනයා සූර්යයා අහලකින්වත් තැබිය නොහැකිය. ඒත් මේ දුඹුරු වාමනයා සහ බෘහස්පති සමඟ සන්සන්ධනය කළොත්, දුඹුරු වාමනයා බෘහස්පතිගේ ස්කන්ධය මෙන් අසූ ගුණයකින් විශාල යැයි පැවැසෙයි. තවත් පැහැදිලි කළොත් මේ ධුමුරු වාමනයා සූර්යයාට වඩා කුඩාය. බෘහස්පතිට වඩා විශාලය. 

'බැක්යාඩ්ස් වර්ල්ඩ්ස් 9' නමැති ව්‍යාපෘතිය යටතේ විශ්වයේ ඈත වස්තූන් නිරීක්ෂණය කරද්දී, විද්‍යාඥයන්ට මෙම cwisej1249+3621 දුඹුරු වාමනයා හමුවුණු බව පැවැසෙයි. නිරීක්ෂණ කටයුතු සඳහා එම විද්‍යාඥයන්ට නාසා ආයතනයේ 'වයිල්ඩ් ෆීල්ඩ් සර්වේ එක්ස්ප්ලෝරර්' Wide Field Infarred Survey explorer නමැති දුරේෂය මේ සඳහා භාවිත කර ඇත. හවායි පිහිටි කෙක් 1 අභ්‍යවකාශ දුරේක්ෂයනේ ද විදයාඥයන් cwisej1249+3621 සම්බන්ධයෙන් දත්ත රැස් කරගෙන ඇතැයි ද පැවැසෙයි. 

පරිගණක ඇසුරින් නිර්මාණය කළ මෙන්න මේ ඡායාරූපයෙන් දුඹුරු වාමනයකු ගැන තවත් පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. මේ ඡායාරූපයේ වම් පසින් ඇත්තේ හිරු නැතිනම් අප සූර්යයාය. ඉන් පසුව ඇත්තේ සූර්යයාට වඩා ප්‍රමාණයෙන් කුඩා අඩු ස්කන්ධයක් පවතින, අඩු ස්කන්ධ Low Mass Star වාමන තාරකාවකි. අඩු ස්කන්ධ වාමන තාරකාවකට ඇති හොඳම උදාහරණයක් වන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි Proxima Centauri තාරකාවය. ඉන් අනතුරුව ඇත්තේ අප මේ ලිපියෙන් කතා කරන අද්භූත වස්තුව හෙවත් cwisej1249+3621 දුඹුරු වාමනයා ය. cwisej1249+3621 දුඹුරු වාමනයා, අඩු ස්කන්ධ තාරකාවකටත් වඩා ප්‍රමාණයෙන් කුඩා බව ඡායාරූපයෙන් පැහැදිලිව පෙනෙයි. cwisej1249+3621 දුඹුරු වාමනයා, අසලින් ඇත්තේ බෘහස්පති ග්‍රහලෝකයයි. බෘහස්පතිගෙන් පසු කෙළවරේම ඇත්තේ අප පෘථිවියයි. පෘථිවියට සාපේක්ෂව දුඹුරු වාමනයාගේ තරම දැන් පැහැදිලි වනු ඇත. පෘථිවිය පාෂාණමය ග්‍රහලොවක් වන අතර, පාෂාණමය ග්‍රහලොවක් වායු ග්‍රහලොකට සහ තරුවකට වඩා කොතරම් කුඩා දැයි යන්න ද මෙහිදී දැකගත හැකිය.

දුඹුරු වාමනයාට මන්දාකිණියෙන් ඉවතට යෑමට ශක්තියක් ලැබුණේ කෙසේද? මෙය ඇත්තටම හොඳ ප්‍රශ්නයකි. තාරකා විද්‍යාඥයන්ට මේ සම්බන්ධයෙන් සියයට සියයක් නිවැරදි පිළිතුරක් දිය නොහැකිය. එහෙත් ඔවුන් කළ අනුමානයක් ඇත. විද්‍යාඥයන්ගේ අනුමානය වන්නේ, මන්දාකිණිය හරහා මෙම දුඹුරු වාමනයා ගමන් කිරීමට පෙර, මෙය සුදු වාමන තාරකාවක් සමඟ ද්විත්ව පද්ධතියක් Binary Syatem ලෙස පිහිටන්න ඇති බවය. සුදු වාමනයකු යනු අපේ හිරුගේ ප්‍රමාණයේ තරුවක ඉන්ධන (න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය වායුන්) අවසන් වීමෙන් පසුව ඉතිරි වන දෙයකි. මෙම සුදු වාමනයා, සුපර් නෝවා පිපිරීමක් ඇති කළ බවත්, එම පිපිරීම හේතුවෙන් දුඹුරු වාමනයා විසි වී යන්න ඇති බවත් විද්‍යාඥයන්ගේ අනුමානයයි. එසේ විසිවෙද්දී ඇති එය ලබා ගත් වේගය අනුව, මෙම දුඹුරු වාමනයාට මන්දාකිණිය හරහා වේගයෙන් යෑමට හැකියාව ලැබෙන්න ඇති. තාරකා විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම එයයි.  

ස්තුතිය - නාසා ආයතනයට 

 


RECOMMEND POSTS