නියැන්ඩතාල් මිත්තණිය



සුවිශේෂී තැනැත්තියක හමුවන්නයි මේ හදන්නේ. ඇය අපගේ, මනුෂ්‍ය වර්ගයාගේ සමීපතම ඥාතියෙකි. අවුරුදු 75,000 ක් පැරණි මිත්තණියකි. ඇගේ නම ෂනිදාර් ය. මනුෂ්‍ය අපට සමීපව නෑකම් කියන මේ මිත්තණිය, නියැන්ඩතාල් මානවයෙකි. මේ මානව ස්ත්‍රියගේ කැබැලි උණු හිස්කබල කොටස් ස්කෑන් කර, පරිගණක ගත කර, පසුව ත්‍රිමාන තාක්ෂණය භාවිතයෙන් ඒ හිස් කබල තිබූ තත්ත්වයට එකලැස් කිරීමටත්, පරිගණක ආධාරයෙන් නියැන්ඩතාල් මිත්තණියගේ රූපය ප්‍රති නිර්මාණය කිරීමටත්, එයින් සැබෑ පෙනුමට සමාන ලෙස අනුරුවක් නිර්මාණය කිරීමටත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. ඒ අනුව, මෙම නියැන්ඩතාල් මිත්තණිය, විදෙස් මාධ්‍ය අතරේ, ප්‍රධාන මාතෘකාවක් බවට ද පත් විය.

නියැන්ඩතාල් මානව ස්ත්‍රිය පණ පිටින් සිටින ආකාරයට, හිස් කබලට පණ දීම එසේත් නැතිනම් ප්‍රතිනිර්මාණය, පහසු කටයුත්තක් වූයේ නැත. පොසිල විද්‍යාඥයන්ටත්, පුරාවිද්‍යාඥයන්ටත් හිස් කබල සහ අස්ථි කොටස් හමුවූයේ පොඩිපට්ටම් වුණු කැබැලි ලෙසය. විද්‍යාඥයන් පවසන්නේ, අස්ථි කොටස් ඔවුන්ට හමුවෙද්දී ඒවා හරියට තේ කෝප්පයක පොගවා ගත් විස්කෝතුවක් මෙන් මෘදු මොලොක් ලෙස පැවැති බවය. හිස් කබල ප්‍රතිනිර්මාණය කිරීමට පෙර, විද්‍යාඥයන්ට එම අස්ථි කොටස් ශක්තිමත් කළ යුතු විය. කාල නිර්මණය කිරීමෙන් පසු, අස්ථි කොටස් ස්කෑන් කර, පරිගණක ගත කර, මුහුණ නිර්මාණය කෙරුණේ ඉන් අනතුරුවය. මේ සටහන සමඟ පළ වන ඡායාරූපවලින් මෙම නියැන්ඩතාල් ස්ත්‍රියගේ පෙනුම කෙබඳු දැයි ඔබට දකින්න ලැබෙනු ඇත.

විද්‍යාඥයන් අතින් නිර්මාණය වුණු නියැන්ඩතාල් හිස සහ මුහුණ, බීබීසී ස්ටුඩියෝස් BBC Studios, නෙට් ෆ්ලික්ස් Netflix  නාළිකාවේ විකාශය සඳහා නිෂ්පාදනය කළ ‘සීක්‍රට්ස් ඔෆ් ද නියැන්ඩතාල්ස්’ Secrets of the Neanderthals නමැති වාර්තා වැඩසටහන හරහා ප්‍රසිද්ධියට පත් කෙරුණි. නියැන්ඩතාල් යනු මානව පරිණාමය කතාවේ, මනුෂ්‍ය අපට නෑකම් කියන මානව විශේෂයකි. අප හෝමෝ සේපියන් මානවයන්ගේ ඥාතීන් පිරිසකි. නියැන්ඩතාල් මානවයන් මිහිමතින් වදවී ගියේ යැයි පැවැසෙන්නේ අවුරුදු 40,000 කට පෙරය. ‘සීක්‍රට්ස් ඔෆ් ද නියැන්ඩතාල්ස්’ Secrets of the Neanderthals වාර්තා වැඩසටහනට පාදක වන්නේ විද්‍යාඥයන්, නියැන්ඩකාල් මානවයන් සම්බන්ධයෙන් සොයා ගත් කරුණු කාරණා සහ අනාවරණය වුණු රහස්ය.

“ඇත්තමට මේක සුවිශේෂී සිදුවීමක්. නියැන්ඩතාල් මානවයන් ගැන අප දන්නේ කරුණු කාරණා බොහොම ටිකයි. පරිගණක ත්‍රිමාන තාක්ෂණයෙන් අප නිර්මාණය කළ මේ රූපය අප සමීප කරවනවා නියැන්ඩතාල් මානවයන්ට.” මෙසේ කියන්නේ ආචාර්ය එමා පොමරෝයිය. මේ සටහන සමඟ පළ වන ඡායාරූපවල සිටින්නේ ඇයයි. ආචාර්ය පොමරෝයි, බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ, පොසිල විද්‍යාඥවරියක මෙන්ම මානව විද්‍යාඥවරියක ද වෙයි. “නියැන්ඩතාල් මානවයන්ගේ අස්ථි අධ්‍යයනය කරන්න ලැබීම ඇත්තෙන්ම සුවිශේෂී අත්දැකීමක්. ඒත් නියැන්ඩතාල් ස්ත්‍රියක අධ්‍යයනය කරන්න ලැබීම ඊටත් වඩා සුවිශේෂයි” යැයි ආචාර්ය එමා පොමරෝයි පෙන්වා දෙයි.

මේ නියැන්ඩතාල් අස්ථි කොටස් සහ කැබැලි හමුවූයේ කුර්දිස්තානයේ ලෙනකිනි. කුර්දිස්තානය යනු ඉරාකයට අයත් වෙනම පාලනයක් සහිත ප්‍රදේශයකි. ඉරාකයේ කුර්දිවරුන් ජීවත් වන්නේ මෙම කුර්දිස්තානයේය. බටහිර විද්‍යාඥයන්ට මෙම නියැන්ඩතාල් අස්ථි කොටස් හමුවූයේ කුර්දිස්තානයේ ෂනිදාර් Shanidar Cave ලෙන තුළිනි. මෙම ලෙන ගවේෂණයේදී, මීට පෙර, නියැන්ඩතාල් පිරිමි මානවයන් දස දෙනකුගේත් කාන්තාවන්ගේත්, කුඩා දරුවන්ගේත් අස්ථි සහ හිස් කබල හමුවී තිබේ. ඒ, 1950 දශකයේය. ඒ අනුව, නියැන්ඩතාල් මානවයන්ගේ රහස් සඟවා ගත් අප්‍රිකාවේ ප්‍රකට ලෙනක් ලෙස ෂනිදාර් ලෙන හැදින්වෙයි.

1950 දශකයෙන් පසු, විද්‍යාඥයන්ට මෙම ලෙන ගවේෂණය අසීරු කටයුත්තක් විය. ඒ, මැදපෙරදිග කලාපයේ අර්බුද හේතුවෙනි. කෙසේ නමුත්, 2015 දී කුර්දිස්තාන බලධාරීන්ගේ විශේෂ ඇරැයුමකට අනුව, බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කණ්ඩායමක්, ෂනිදාර් ලෙන ගවේෂණය කිරීම ආරම්භ කළේය. එහිදී ඔවුන්ට තැලී පොඩි මට්ටම වුණු හිස් කබල කොටස් සහ අස්ථි කොටස් හමුවිය. මෙය නව සොයා ගැනීමකි. ඔවුන්ට හමුවුණු පරිගණක ත්‍රිමාන තාක්ෂණයෙන් ප්‍රති නිර්මාණය කළ රුව ඇති ඒ ස්ත්‍රිය ඇයයි. විද්‍යාඥයන් ඇය ෂනිදාර් සෙඩ් Shanidar Z යනුවෙන් නම් කළේ ඒ අනුවය. ඇයගේ හිස් කබල කොටස්වලට අමතරව, 2015 වසරේ සිදු කළ ගවේෂණයේ දී සිරුරේ ඉහළ කොටසේ අස්ථි කැබලි, කශේරුකාවේ කොටස්, උරහිස් සහ අත්වල අස්ථි කොටස් විද්‍යාඥයන්ට හමුවිය.

හිස් කබලේ කොටස් සම්පූර්ණයෙන් ම වාගේ තිබුණු නමුත් ඒවා කැබැලි ලෙස පොඩි පට්ටම් වී තිබුණි. ඒ, සෙන්ටි මීටර් 2 ක් පමණ ඝනකම් තට්ටුවක් විදියටය. “ඒක හරියට පොඩි මට්ටම් කළ තලපයක් වගේ. පීට්සා එකක් වගේ” යැයි 2015 වසරේ දී ෂනිදාර් ලෙන ගවේෂණයට ගිය විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දුන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ග්‍රමේ බාකර් පවසයි. “ලෙන තුළ සිදු කළ කැණීම්වලින් හමුවුණු අස්ථි කැබලි, මේ දක්වා ආ ගමන විස්මිතයි. පුරා විද්‍යාඥයකු ලෙස පියවරෙන් පියවර ආ ගමන් මඟ ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒ හිස් කබල කොටස් අයිති තැනැත්තිය පණ පිටිනක් සිටිනවා වගේ මේ විදියට දකින්න ලැබීම ඇත්තටම විස්මිත නොවේද?” මහාචාර්යවරයා අදහස් දක්වමින් කියා සිටී.

කුර්දිස්තාන බලධාරීන්ගේ අවසරය මත, අස්ථි කැබලි කොටස් බ්‍රිතාන්‍යයට ගෙන ඒම සිදුවිය. ඒ, අස්ථි කොටස් සවි වී තිබුණු පස් තට්ටු ද සමඟය. කැබලි වුණු අස්ථි පරිස්සමෙන් ගලවා ගනිමින් ඒවා එකලැස් කිරීම දිගු වෙහෙසකර කටයුත්තක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. විද්‍යාඥයන්ට එය ජිග්සෝ ප්‍රහේලිකාවක් හා සමාන විය. සියලු එකලැස් කිරීම්වලට වසර කීපයක් ගත විය. හිස් කබල හකිතාක් සම්පූර්ණ කිරීමෙන් පසු එය පරිගණකයට ස්කෑන් කර ත්‍රිමාන රූපය නිර්මාණය කළේ නෙදර්නත්ත ජාතික තාක්ෂණ ශිල්පීන් එසේත් නැතිනම් ත්‍රිමාන සිත්තරුන් දෙදෙනෙකි. ඇඩ්රී සහ ඇල්ෆොන්ස් කෙනිස් ඔවුන් දෙදෙනාය. පොසිල අස්ථි කොටස් අනුව, ආදි මානවයන්ගේ රූප ඉතාමත් නිවැරදි අයුරින් ප්‍රති නිර්මාණය කිරීමේ දක්ෂයන් ලෙස මොවුන් දෙදෙනා සැලකිය හැකි බව ද පැවැසෙයි.

හිස් කබල අයිති නියැන්ඩතාල් මානව ගැහැනියකට බව විද්‍යාඥයන් ස්ථිරව පවසයි. ඔවුන් ඒ බව පවසන්නේ හිස් කබලේ කොටස් ප්‍රති නිර්මාණය කරද්දී හකු පිහිටීම, ඇස් සහ නාසය පිහිටීම සැලකිල්ලට ගනිමිනි. හිස් කබල සමඟ උකුල් අස්ථි කොටස් හමුවූයේ නම් නිසැකවම ගැහැනියක ද නැද්ද යන්න දැනගත හැකිය. මියයනවිට ඇගේ වයස අවුරුදු 40 ක් පමණ වන්නට ඇත. ඇගේ දත් බොහොමයක් හොඳටම ගෙවී ගොසිනි. දිරාපත් වී ඇත. ආහාර වැඩි වැඩියෙන් සපා කෑම ඊට හේතුවය. දන්ත සෞඛ්‍ය ගැන අවබෝධයක් නොතිබුණු බැවින්, දත් රෝග, විදුරුමස් රෝග හට ගන්න ඇති. ඒ අනුව දත් දිරාපත් වන්න ඇතැයි අනුමාන කෙරේ. ඇය ඇගේ ජීවිත කාලයේ අවසන් අදියරේ පසුවන්න ඇති බව ආචාර්ය එමා පොමරෝයි පැහැදිලි කරයි.

අප අයත් වන හෝමෝ සේපියන් මානවයන්ට වඩා නියැන්ඩතාල් මානවයන් තිරිසන් ම්ලේච්ඡයන් පිරිසක් යැයි කාලාන්තරයක් තිස්සේ විශ්වාසයක් පැවැතිණි. එහෙත්, ෂනිදාර් ලෙන තුළින් හමුවුණු නව සොයා ගැනීම් සහ පොසිල අස්ථි නියැන්ඩතාල් මානවයන් ගැන අලුත් තොරතුරු රැසක් හෙළි කිරීමට සමත් වුණු බැවින්, එම අදහස් බැහැර කෙරුණි. මියගිය නියැන්ඩතාල් මානවයන් වෙනුවෙන් කිසියම් ආගමික කටයුත්තක් සිදුවුණු බවට ද සාක්ෂි හමුවී ඇත. සිරුරු තැන්පත් කර තිබෙන්න ඇත්තේ මල් ඇසුරූ සොහොනක යැයි පැවැසෙයි. ඇතැම් අස්ථි කොටස් අතරින් පරාග හමුවීම ඊට හේතුවය. නියැන්ඩතාල් මානවයන් අතරේ කිසියම් හෝ ආගමික විශ්වාසයක් පැවැතියේ නම්, ඔවුන් තිරිසන්, නූගත්, ම්ලේච්ඡ පිරිසක් නොවන්න ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වාද විවාද පවතී.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS