හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන්



රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරමින්, නැව්වලට පහර දෙන, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.

2021 ජනවාරියේ, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, බයිඩන් ගත් ප්‍රධාන පෙළේ විදෙස් ප්‍රතිපත්තියක් ලෙස මෙය සැලකෙයි. හවුති සටන්කාමීන් ඉරානයේ සහාය ලබන කණ්ඩායමකි. මොවුහු, ඉරානයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වී සිටිති. හවුති සටන්කාමීන්ගේ නැගී සිටීම සිදුවූයේ 2011 වසරේ යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟය.

යේමන සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන්නේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.

බයිඩන්ට පෙර, ජනාධිපති ධුරය හෙබවූයේ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් ඉරාන විරෝධියෙකි. එහෙයින් ඔහු යේමන හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කර තිබුණි. 2021 වසරේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් එය වෙනස් කළේය. දැන් යළිත් වරක්, බයිඩන්, ට්‍රම්ප් මෙන්ම හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS