පෙසෙෂ්කින්ගේ කැබිනට් මණ්ඩලයට අනුමැතිය



ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් නම් කළ සිය කැබිනට් මණ්ඩලයට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඉරාන පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ, ‘මජ්ලිස්’ යනුවෙනි. 

ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබූ සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් 19 දෙනා සම්බන්ධයෙන්, පසුගිය දින හතර පුරාවට, වාද විවාද පැවැත්විණි. 

ඉන්පසු එම කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට අනුමැතිය දීම සම්බන්ධයෙන් ‘මජ්ලිස්’ සභාවේ, ඡන්දයක් පැවැත්විණි. එහිදී වැඩි ඡන්දයෙන්, එම කැබිනට් මණ්ඩලයට අනුමැතිය හිමිවුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

මසූඩ් පෙසෙෂ්කියන් යනු මධ්‍යස්ථමතධාරියෙකි. ඉරානයේ සිටියදී ගාසා පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කළේ ඊශ්‍රායලයයි. ඒ, ඊශ්‍රායල හමාස් ගැටුම තවත් උත්සන්න කරමිණි.

එම ප්‍රහාරයෙන් පසු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, ඉරාන විප්ලවීය හමුදාවට අණ දී ඇත්තේ හානියේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් පළිගත යුතු බවත්, එසේ නොකළොත් එය දේව උදහසට හේතුවක් වනු ඇති බවත්ය.

කෙසේ නමුත්, මධ්‍යස්ථමතධාරියකු වන මසූඩ් පෙසෙෂ්කියන් ඊහ්‍රායලය සමඟ ගැටීම ප්‍රතික්ෂේප කරයි. එසේ වුවත්, මසූඩ් පෙසෙෂ්කියන් පැහැදිලි කර ඇත්තේ ඊශ්‍රායලව ඉරානයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින්, ස්වෛරීත්වය උල්ලංඝනය කරමින්, හානියේ මරා දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ නව කැබිනට් මණ්ඩලයේ නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයට කාන්තාවක සහ විදේශ ඇමැති ධුරයට මධ්‍යස්ථමතධාරී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වෙති. 

නාගරික සංවර්ධන අමාත්‍ය ධුරය හිමිවූයේ, 48 හැවිරිදි ෆාර්සානේහ් සදීහ්ය. සදීහ් ට අමාත්‍ය ධුරය හිමිවුවහොත්, 1979 වසරේ දී ඉරානය ඉස්ලාමික ජනරජයක් වීමෙන් පසු අමාත්‍ය ධුරයක් හිමිවන දෙවැනි කාන්තාව ඇයයි.

විදේශ අමාත්‍ය ධුරයට නම් කර ඇත්තේ, 61 හැවිරිදි අබ්බාස් අරග්චිය. ගාසා තීරයේ හමාස් දේශපාලන අංශ නායක, ඉස්මායිල් හානියේ ඉරානයේ දී ඝාතනය වීමෙන් පසු ඉරානයත්, ඊශ්‍රායලයත් අතර හටගත් අර්බුදකාරී තත්ත්වය යුද්ධයකට නොයා විසඳා ගැනීමට තමන් උත්සාහ ගන්නා බව නව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS