ඉදිරි දින කීපය ඇතුළත ඉරානය ඊශ්‍රායලයට ගහනවා



මේ සතිය අවසන් වීමට පෙර, ඉරානය, ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇතැයි ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු අඟවයි. 

එම අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින්, ඒ සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (12) යුරෝපා රටවල රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

‘ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය සූදානම් වෙනවා. එම ප්‍රහාරය බිහිසුණු එකක් විය හැකියි.

ප්‍රහාරය කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද විශාල අර්බුදයක් ඇති කිරීමට සමත් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, වීඩියෝ තාක්ෂණය සහ දුරකතන මාර්ග ඔස්සේ යුරෝපා රටවල රාජ්‍ය නායකයන් හමුවේ පෙන්වා දුන්නේය.

ඊශ්‍රායලයට පහර දෙන්නැයි ෂියා මුස්ලිම් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී එරට විප්ලවීය හමුදාවට අණ දී ඇත්තේ, ඊශ්‍රායලය පසුගිය දා ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිටි, පලස්තීන හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවය.

ඉරානයේ දී, ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශ නායකයා මරා දැමීම තම ස්වෛරීත්වය උල්ලංඝනයක් බවට ඉරානය චෝදනා නගයි. ඊශ්‍රායලයට සෘජුව පහර දෙන්නැයි ඉරාන උත්තරීතර නායකයා, එරට විප්ලවීය හමුදාවට අණ දුන් පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. 

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS