දිගටම පහර දෙනවා නම් ප්‍රාණඇපකරුවන් මියයාවි



ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ග්‍රහණයේ පසුවන සෙසු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද මියයනු ඇතැයි හමාස් සංවිධානය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට අනතුරු අඟවිමින් පවසා ඇත.

හමාස් සංවිධානය මෙසේ අනතුරු ඇඟවීම කළේ හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමට, දිගටම මෙහෙයුම් සිදු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු කළ අනතුරු ඇඟවීමකට පිළිතුරු දෙමිනි.

‘හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව පවසමින්, හමුදා මෙහෙයුම් හරහා හමාස් සංවිධානය අඩපණ කිරීමට උත්සාහ ගනිමින්, ප්‍රාණඇපකරුවන් බේරා ගැනීමට නෙදන්යාහු උත්සාහ ගන්නවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. දිගින් දිගටම ඊශ්‍රායලය හමුදා මෙහෙයුම් සිදු කළොත්, ඉතිරි ප්‍රාණඇපකරුවන්ට ඔවුන්ගේ පවුල් වෙත ආපසු යන්න සිදුවන්නේ මිනී පෙට්ටියකින්’ යැයි හමාස් සංවිධානයේ, කසාම් බලඇණියේ අණ දෙන නිලධාරී, අබු ඔබෙයිඩා අවධාරණය කර ඇත. 

හමාස් සටන්කාමීන් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේ ප්‍රාණ ඇපයට ගත් පිරිස 300 කට වැඩිය. ඉන්පසු දින කීපයක සටන් විරාමයක් සහ සාම කතා මැද ඔවුන්ගෙන් කීප දෙනකු නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගත්තේය.
කෙසේ නමුත් එම සටන් විරාමය හා සාම කතා සාර්ථක නොවුණු අතර, හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමේ අරමුණින්, ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට ප්‍රහාර එල්ල කරයි.

පසුගිය සති අන්තයේ හමාස් ග්‍රහණයේ පසුවුණු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් හය දෙනකුගේ මළ සිරුරු හමුවිය. ඊශ්‍රායල හමාස් යුද ගැටුම් හමුවේ ප්‍රාණ ඇපකරුවන් 72 ක් මියගොස් ඇති අතර, තවත් 101 දෙනෙක් තවමත් හමාස් ග්‍රහණයේ පසුවෙති. 

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට නොකඩවා එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් 40,786 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ඒ අතරින් වැඩිදෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 94,224 කි. 

 (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS