‘හවුති’ ද? ‘හූති’ ද?



හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය පහරදෙයි. ඒ, රතු මුහුදේ නාවික කටයුතුවලට හවුති සටන්කාමීන් බාධා කරන නිසාය. හවුති සටන්කාමීහු, ඊශ්‍රායලයට විරෝධය දක්වති. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය ඊශ්‍රායලයට යන එන නෞකාය.

ඊට අමතරව, ඊශ්‍රායලයට සහාය දක්වන ඇමෙරිකා, බ්‍රිතාන්‍ය නෞකාවලට ද ඔවුහු පහර දෙති. රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කිරීමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය, අවස්ථා කීපයකදී, හවුති සටන්කාමීන්ගෙන් ඉල්ලීමක් කළේය. රතු මුහුද හරහා වැටී ඇත්තේ ලොව ඉතාමත් කාර්යබහුල නාවික මාර්ගවලින් එකකි. එහෙයින්, හවුති සටන්කාමීන්, රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කිරීම, ගෝලීය ආර්ථිකයට විශාල ගැටලුවකි. යේමනයේ හවුති සටන්කාමීන් ඉරානයේ සහාය ලබන කණ්ඩායමකි. මොවුහු, ඉරානයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වී සිටිති. සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන්නේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.

හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී පහර දී, ඊශ්‍රායල වැසියන් පැහැර ගනිමින්, ගාසා තීරයට රැගෙන ගියේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය. එය ඊශ්‍රායල ‘මොසාඩ්’ බුද්ධි අංශයට එල්ල කළ අතුල් පහරකි. ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් එල්ල කළ එම  ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ඉවක් බවක් නැතිව පහර දීම ඇරැඹුවේය. අද වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ගාසා පලස්තීන වැසියන් ගණන 24,000 කි. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

හවුති සටන්කාමීන් යනු යේමන සිවිල් යුද්ධයට සම්බන්ධ කැරැලිකරුවන් පිරිසකි. ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පෙර, ඇමෙරිකා ජනාධිපති ධුරය හෙබ වූ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ‘පළමු තැන ඇමෙරිකානුවන්ට’ සහ ‘ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම’ යනු ට්‍රම්ප්ගේ තේමා පාඨයයි. ට්‍රම්ප්, ඊශ්‍රායලයට සහ යුදෙව්වන්ට කොන්දේසි විරහිතව සහාය දැක්වීය. ලොව එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය මෙන්ම පලස්තීනය ද අයිතිය ඉල්ලන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර යැයි ට්‍රම්ප් පිළිගත් අතර, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය ද ජෙරුසලමට රැගෙන යෑමට කටයුතු කළේය. ඒ, සියල්ල සිදුවූයේ පලස්තීනුන්ගේ දැඩි විරෝධය මැදය. ට්‍රම්ප් ඉරානය සමඟ ද ගැටුණේ ඊශ්‍රායලයට සහාය පළ කළ බැවිනි.

ඉරානයේ සහාය සහ අනුග්‍රහය ලැබූ යේමනයේ හවුති සටන්කාමීන් ද ට්‍රම්ප්ගේ උදහසට ලක් විය. හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් ඔවුන්ට සම්බාධක පැනැවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය. 2021 වසරේ, ජෝ බයිඩන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ට්‍රම්ප් ගත් තීන්දු තීරණ බොහොමයක් ‘රිවර්ස්’ කෙරුණි. යේමනයේ හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස ට්‍රම්ප් නම් කර තිබීම ද වෙනස් කෙරුණි.කෙසේ නමුත් අද වනවිට, රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරමින් ඇමෙරිකන් යුද නැව්වලට පහර දීමට හවුති සටන්කාමීන් පියවර ගැනීමත් සමඟ යළිත් වරක් ඔවුන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට බයිඩන් තීරණය කර ඇත.

මුස්ලිම් ලෝකයේ ප්‍රධාන වශයෙන් දෙකට බෙදී ඇත. එම බෙදීම් සිදුවූයේ මොහොමඩ් නබිතුමාගේ මරණයත් සමඟය. ඊට මුල් වූයේ නබිනායකතුමාගේ දහම නිවැරදිව ඉදිරිපත් කරන අනුප්‍රාප්තිකයා සම්බන්ධ කාරණාවය. එක් පාර්ශ්වයක් විශ්වාසය කළේ, නිවැරදි දහම ගෙන එන්නේ නබිනායකතුමාගේ සමීපතම ඥාතීන් බවය. ඒ අනුව  නියම අනුප්‍රාප්තිකයා එතුමන්ගේ පරම්පරාවේ ඥාතීන් අතරින් කෙනකු විය යුතු බවය. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ, නබි නායකතුමාගේ ඥාති සහෝදරයකු මෙන්ම බෑණා ද වූ අලි ඉබින් අබි තලිබ් ය.

අනෙක් පාර්ශ්වය ඊට තදින් විරුද්ධ වූ අතර, ඔවුන්කියන්නේ නිවැරදි ඉස්ලාම් දහම දන්නේ නබිතුමාගේ අනුගාමිකයන් බවය. ඒ නිසා නියම අනුප්‍රාප්තිකයා ලෙස ඔවුන් තෝරා ගත්තේනබිතුමාගේ මාමණ්ඩිය වූ අබූ බකර් ය. අලි ඉබින් අබි තලිබ් අනුප්‍රාප්තිකයා ලෙස පිළිගන්නා පිරිස ෂියා මුස්ම්වරුන් වන අතර, ඊට විරුද්ධ පිරිස සුන්නි මුස්ලිම්වරුන්ය. සුන්නි-ෂියා ගැටුම පරම්පරා ගණනක් තිස්සේ ඔඩුදුවන අර්බුදයකි. ලෝකයේ සියයට 85 කට වැඩියෙන් ඉන්නේ සුන්නි මුස්ලිම්වරුන්ය. සෙසු පිරිස ෂියා මුස්ලිම්ය. ෂියා මුස්ලිම්වරුන් වැඩි බහුතරයක් ඇති එකම රාජ්‍යය ඉරානයයි.

යේමන සටන්කාමීන් ‘හවුති’ ද? එසේත් නැතිනම් ‘හූති’ ද? යන්න පිළිබඳ මත ගැටුම් පවතී. බ්‍රිතාන්‍ය උච්චාරණයට අනුව, ඔවුන් යේමන සටන්කාමීන් හඳුන්වන්නේ ‘හවුතී’ යනුවෙනි. සී.එන්.එන්. ආදී ඇමෙරිකන් මාධ්‍ය, මෙම සටන්කාමීන්ගේ නම උච්චාරණය කරන්නේ ‘හූතී’ යනුවෙනි. කැරැලිකරුවන් සහ පසුව සටන්කාමීන් බවට පත් වීමට පෙර, හවුතිවරුන් යනු යේමනයේ සාදා කඳුකරයේ සරල ජීවිත ගත කළ ආගමට ලැදි, වැඩි උගත්කමක් නැති යේමන වැසියන් පිරිසකි. හවුතිවරුන් ෂියා මුස්ලිම්ය. ඔවුන් ෂියා දහමේ, ‘සෙයිදි’ නිකායට අයත් මුස්ලිම්වරුන්ය. ෂියා දහම ප්‍රධාන නිකාය තුනකට බෙදෙන අතර, ‘සෙයිදි’ නිකාය එයින් එකකි.

‘සෙයිදි’ නිකායේ පැහැදිලිව සඳහන් වන එක් කරුණක් ඇත. ඒ, පාලකයන් අධාර්මික නම්, පාලකයන්ගෙන් අසාධාරණයක් සිදුවන්නේ නම්, අයුක්තිය රජ කරන්නේ නම්, එවැනි පාලකයන් පන්නා දැමීමට දෙවියන්ගේ නාමයෙන් සටන් කළ යුතුය යන්නය. ආරම්භයේ දී එනම් 1994 වසරේ සිට හවුතිවරුන්ට නායකත්වය දුන්නේ හුසේන් අල් හවුතිය. 2004 සිට 2010 කාලයේ, යේමනයේ සෞදි අරාබියේ අනුග්‍රහය යටතේ පිහිටුවූ රජයට එරෙහිව හවුතිවරුන් විරෝධය දැක්වීය. ඒ, රජයෙන් ඔවුන්ට සිදුවුණු කෙණෙහිලිකම්වලට එරෙහිවය. හුසේන් අල් හවුති ප්‍රචණ්ඩකාරී මතධාරියකු නොවීය. 2004 වසරේ හවුති සටන්කාමීන්ගේ නව නායකයා බවට පත් වූයේ අබ්දුල් මලීක් අල් හවුති ය. අබ්දුල් මලීක් අල් හවුතිගේ නායකත්වය යටතේ හවුතිවරුන්, සෞදියේ සහාය ලැබූ යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේගේ රජයට එරෙහිව කැරැලි ගැසුවේය.

2011 වසරේ අරාබි වසන්තයත් සමඟ යේමනය ගිනියම් විය. යේමන ජනාධිපති සාලේ, සෞදියේ සහාය ඇතිව හවුති කැරැලිකරුවන් මර්දනය කරද්දී, කැරැලිකරුවෝඉරානයේ ලැබුණු අවි ආයුධවලින් සන්නද්ධ වූහ.ජනාධිපති සාලේගේ රජය පෙරළා දැමීමට හවුති කැරැලිකරුවන් ආරම්භ කළ කැරැල්ල, සිවිල් යුද්ධයක් තෙක් දුරදිග ගියේය. යේමන රජයට, සෞදියත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් ඇමෙරිකාවත් සහාය පළ කළේය. යේමන සිවිල් යුද්ධය තවමත් අවසන් නැත. කෙසේ නමුත් ඉරානයත් සෞදියත් අතරේ යහපත් සබඳතා හට ගැනීමත් සමඟ ගැටුම් නැවැතිණි. සෞදි අත්අඩංගුවේ සිටි හවුති සටන්කාමීන්ට සහ නායකයන්ට නිදහස ලැබුණි. අද යේමනයේ සානා අගනුවරත්, බටහිර වෙරළ තීරයත් හවුති සටන්කාමීන්ගේ අණසක යටතේ පවතී.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS