ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තුව



ගාසා තීරයට පහර දෙමින් යුද අපරාධ සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කර ඇති අතර, ඊශ්‍රායලයේ හිතවතකු වන ඊජිප්තුව ප්‍රකාශ කළේ තමන් ද ඊශ්‍රායලයට එරෙහිව, දකුණු අප්‍රිකාවට සහාය පළ කරමින් අපරාධ අධිකණයට පැමිණිලි කිරීමට සූදානම් බවය.

තමන් මෙම තීරණය ගන්නේ, ඊශ්‍රායලය දිගින් දිගටම පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන නිසා යැයි ද ඊජිප්තු විදේශ කටයුතු අමත්‍යාංශය පැහැදිලි කර තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගාසා පලස්තීන වැසියන් ගණන 35,000 පසු කර තිබේ.

ඊශ්‍රායලයත් ඊජිප්තුවත් අසල්වැසියන්ය. ගාසා තීරය ඊශ්‍රායලයටත්, ඊජිප්තුවටත් මායිම්ව පිහිටයි. වසර ගණනාවක සිට, ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතරේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාවක් පවතී. කෙසේ නමුත්, ඊශ්‍රායලය, ගාසා තීරයේ නැගෙනහිර කෙළවරේ පිහිටි රෆා නගරයට පහර දීමට පියවර ගැනීම ඊජිප්තුවේ ද අප්‍රසාදයට හේතුවක් වී ඇත. රෆා නගරය ඇත්තේ රෆා දේශසීමා පිවිසුම අසලය. රෆා දේශසීමා පිවිසුම ඇත්තේ ගාසා තීරය සහ ඊජිප්තුව අතරේය. මේ වනවිට රෆා නගරයේ සිටින පලස්තීන වැසියන් ගණන ලක්ෂ 3 කි.

රෆා නගරයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම ඇමෙරිකාවේ ද විරෝධයට හේතුවක් වී ඇත. හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලයට අවශ්‍ය නමුත්, රෆා නගරයට පහර දීමෙන් පමණක් එය කළ නොහැකි බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට පෙන්වා දී තිබේ.

ඇමෙරිකාවේ ද මැදිහත් වීමෙන්, ඊශ්‍රායාල නියෝජිතයන් සහ ගාසා තීරයේ හමාස් නියෝජිතයන් අතර පසුගිය කාලය පුරාවට සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වුණේ ද ඊජිප්තුවේදීය. එම සාකච්ඡා සඳහා ඊජිප්තුව පමණක් නොව, කටාර් රාජ්‍යය ද මැදිහත් වී සිටී. කෙසේ නමුත් සටන් විරාමයක් සඳහා සාකච්ඡා අසාර්ථක වී ඇත්තේ ඊශ්‍රායලය එම සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බැවිනි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS