බයිඩන්ගේ සාම සැලැස්මට ‘ජී7’ කැමතියි



හමාස් - ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාම ගිවිසුමට සිය සාමාජික රටවල අනුමැතිය හිමිවන බවත් ගාසා තිරයේ ඇතිව තිබෙන මානුෂීය ඛේදවාචකය අවසන් කිරීම සඳහා එම ගිවිසුම පිළිගන්නා ලෙස හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ජී7 කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
 
ඇමෙරිකාව ඉදිරිපත් කර ඇති ගිවිසුම මගින් ගාසා තීරයේ වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ඇතිවනු ඇති බවත් හමාස් සංවිධානය රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන්ට එමගින් නිදහස ලැබෙනු ඇති බවත් ජී7 කණ්ඩායම පැවැසුවේය.එසේම ගිවිසුම මගින් ගාසා තීරයේ බෙදා හැරීම සඳහා ලැබෙන මානුෂීය ආධාර ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවද ජී7 කණ්ඩායම ප්‍රකාශ කළේය.
 
සටන් විරාමයක් ඇතිවී හමාස් සංවිධානය රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන්ට නිදහස ලැබීමෙන් ඊශ්‍රායලයේ ආරක්ෂක වුවමනා ආමන්ත්‍රණය වනු ඇති බවත් එමගින් ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු වනු ඇති බවත් ජී7 කණ්ඩායම පැවැසුවේය.
 
ද්වි - රාජ්‍ය විසඳුමක් කරා ගමන් කළ හැකි විශ්වසනීය ස්ථිරසාර විසඳුමකට තම කණ්ඩායමේ සහාය නිරන්තරයෙන් හිමිවන බව ජී7 කණ්ඩායම ප්‍රකාශ කළේය.
 
ඇමෙරිකානු ජනාධිපතිවරයා හමාස් - ඊශ්‍රායල ගැටුම අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඉදිරිපත් කළ අතර එම ගිවිසුමට හමාස් සංවිධානයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේය. ඊශ්‍රායල පාර්ශ්වයෙන්ද ධනාත්මක ප්‍රතිචාරය බයිඩන්ගේ ගිවිසුමට ලැබුණු නමුත් එම ගිවිසුමේ අඩුපාඩු රාශියක් තිබෙන බවත් එම අඩුපාඩු නිවැරදි විය යුතු බවත් ඊශ්‍රායල පාර්ශ්වය ප්‍රකාශ කළේය.
 

RECOMMEND POSTS