පලස්තීනය පිළිගන්නවා !!



ඊශ්‍රායලයේ දැඩි ව්රෝධය මත අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය යන රාජ්‍යයන් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව එම රටවල අග්‍රාමාත්‍යවරු පැවැසූහ.

තම රටවල් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ගත් තීරණය ඉතාමත් ඉක්මණින් ක්‍රියාත්මක වනු ඇතැයි එහිදී අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය යන රටවල අග්‍රාමාත්‍යවරුන් පැවැසුවේය.තම රටවල් ගත් මෙම තීරණය ගාසා තීරයට සාමය උදාකර දීමට සහාය වනු ඇතැයි විශ්වාස කරන බවත් අනෙක් රටවල්ද තමන් සමඟ එකතු වනු ඇතැයි විශ්වාස කරන බවත් ඔවූහු ප්‍රකාශ කළහ.

නෝර්වේජියානු අග්‍රාමාත්‍ය ජෝනාස් ගාහ්ර් ස්ටෝර් තම රට පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන්නේය.එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ වතමන් ඊශ්‍රායල - හමාස් අර්බුදයට හොඳම විසඳුම වන්නේ ද්වී රාජ්‍ය විසඳුමක් බවත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් වත්මන් අර්බුදයට ඇති එකම විකල්පය වන රටවල් දෙකක ජනතාවක් එකිනෙකා සමඟ සහයෝගයෙන් සහ ආරක්ෂිතව ජීවත් වීමේ බලාපොරොත්තුවට නව පණක් ලබාදෙනු ඇති බවත්ය.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චෙස් පාර්ලිමේන්තුව අමතමින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ගත් තීරණය දැනුම් දුන් අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ගත් තීරණයට හේතු ගණනාවක් තිබූ නමුත් එම හේතු සියල්ල කෙටියෙන් වචන තුනකින් පැවැසිය හැකි බවය. සාමය, යුක්තිය සහ ස්ථාවරත්වය එම වචන තුන බව ඔහු ප්‍රකාශ කළේය.

අයර්ලන්ත අග්‍රාමාත්‍ය සයිමන් හැරිස් පලස්තීනය රාජ්‍යයක් බවට පිළිගැනීමට ගත් තීරණය දැනුම් දෙමින් ප්‍රකාශ කර සිටියේ ගාසා අර්බුදයට විශ්වාසදායකම විසඳුම තිබෙන්නේ ද්වි රාජ්‍ය විසඳුමක් තුළ බවය.ඒ සඳහා ගත හැකි නිවැරදි තීරණය පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම බවත් නිවැරදි තීරණය ගැනීම තවදුරට ප්‍රමාද කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු පැවැසුවේය.

අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය යන රාජ්‍යයන් ගත් මෙම තීරණය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය මගින් කලාපය තුළ ත්‍රස්තවාදය සහ අස්ථාවරත්වය තවත් පැතිරෙනු ඇති බවත් සාමය උදාකර ගැනීමට තිබූ සියලුම අවස්ථා නැති කර දැමූ බවත්ය.


RECOMMEND POSTS