ඉරාන ජනාධිපතිවරණය ඇරැඹේ



ඉරාන ජනාධිපතිවරණය අද (28) පැවැත්වෙයි. ඉරානයේ ජනාධිපතිරණයක් පැවැත්වෙන්නේ, ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය මැයි 19 වැනිදා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බැවිනි. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් සිවු දෙනෙක් ඉදිරිපත් වෙති.

ඉරානයේ උත්තරීතර ආගමික නායකයා අයතුල්ලා අලී කමේනීය. උත්තරීතර නායකයා යටතේ භාරකාර මණ්ඩලයක් ඇති අතර, එහි සාමාජිකයන් තෝරා පත් කරනු ලැබ ඇත්තේ ද කමේනී විසිනි. ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන් තෝරා ගැනීම සිදු කරන්නේ මෙම භාරකාර මණ්ඩලයයි. මෙවර ජනාධිපතිවරණයට භාරකාර මණ්ඩලය තෝරාගත් අපේක්ෂකයන් අතරින් සිවු දෙනකුට උත්තරීතර නායක කමේනිගේ අනුමැතිය හිමි විය.

ඒ අනුව, අද 28) පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සිවු දෙනා සහීද් ජලීල්, මොහොමද් බගාර් ගලිබාෆ්, මසූද් පෙසස්කියාන් සහ මුස්තාෆා පෝර්මොහද්දී ය.

මධ්‍යස්ථමතධාරී 58 හැවිරිදි සහීද් ජලීල් ඉරානයේ උත්තරීතර ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකි. මොහොමද් බගාර් ගලිබාෆ් හමුදා නිලධාරියකු වන අතර ඉරාන පාර්ලිමේන්තු කතානායකවරයාය. මොහු ද මධ්‍යස්ථමතධාරියෙකි. අපේක්ෂකයන් සිවු දෙනකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත්, සටන පවතිනු ඇත්තේ මොවුන් දෙදෙනා අතරේ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉරාන වැසියන් මිලියන 61 ක් සුදුසුකම් ලබා සිටින බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්විණි. විදේශගත ඉරාන වැසියන් වෙනුවෙන්, විදේශ තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දෙනු ලැබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS