අහමදිනෙජාද් යළි ජනපති සටනට



ඊබ්‍රහීම් එරයිසිගේ අභාවයෙන් පසු, ඉරාන ජනාධිපතිවරණය ජූනි 28 පැවැත්වෙන අතර, ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වන මොහොමඩ් අහමදිනෙජාද් වසර 12 කට පසු යළි ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට නියමිතය.

67 හැවිරිදි මොහොමඩ් අහමදිනෙජාද්, විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකි. ඊට අමතරව, අහමදිනෙජාද් ඉරාන විප්ලවීය හමුදා නිලධාරියෙකු ද වෙයි. ඔහු ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළේ 2005 සිට 2013 දක්වා කාලයේය.

ඉරාන ජනාධිපති ධුරයට සුදුසු අපේක්ෂකයන් තෝරා ගැනීම සිදු කරන්නේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී යටතේ පවතින භාරකාර මණ්ඩලයයි. භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් තෝරා පත් කිරීම සිදු කරනු ලබන්නේ ද උත්තරීතර නායක අල් කමේනි විසිනි. 

ජූනි 28 ජනාධිපතිවරණයට සෙසු අපේක්ෂකයන් 9 සමඟ අහමදිනෙජාද් සිය අයැදුම්පත භාරකාර මණ්ඩලයට යොමු කරනු ඇති අතර, ඔහු ජනාධිපති ධුරය අපේක්ෂකයකු ලෙස සුදුසු ද නැද්ද යන්න තීරණය කරන්නේ භාරකාර මණ්ඩලයයි. අහමදිනෙජාද් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත්තේ භාරකාර මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS