බයිඩන්ගේ සමුගැනීම



එය එසේ සිදුවිය. නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩෝ බයිඩන් ප්‍රකාශ කළේය. ඩිමොක්‍රටික් පක්ෂයේ යහපත ගැනත්, රටේ යහපත ගැනත් සිතා තමන් යළි ජනාධිපති ධුරය අපේක්ෂා නොකරන බව බයිඩන් අවධාරණය කළේය. ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කාල ඇත්තේ දෙකක් පමණි. ඒ අනුව, ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපති ජෝ බයිඩන්, සමුගනු ඇත්තේ එක් ධුර කාලයක් සම්පූර්ණ කරමිණි. ජනපති සටනින් ඉවත් වන බව ප්‍රකාශ කරමින්, තමන් වෙනුවට, තම දෙවැනියා උප ජනාධිපතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට බයිඩන් කටයුතු කළේය. ඩිමොක්‍රටික් පක්ෂයේ පූර්ණ සහාය සහ අනුමැතිය හිමිවුවහොත්, නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස 59 හැවිරිදි  කමලා හැරිස් ජනාධිපති සටනට අවතීර්ණ වුවහොත්, ඇයට හැප්පීමට සිදුවනු ඇත්තේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ ජනපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟය.

බයිඩන්ගේ වයස අවුරුදු අසූ එකකි. ඇමෙරිකා ජනාධිපති ධුරයේ කටයුතු කරන වයස්ගතම පුද්ගලයා බයිඩන්ය. බයිඩන්ගේ වයස, ඔහුට හරිහැටි රාජකාරි කිරීමට බාධාවක් විය. බයිඩන් සහ ට්‍රම්ප් අතරේ පැවැත්වුණු පළමු සජීවී රූපවාහිනී විවාදයේ දී බයිඩන් අසරණ විය. වචන ගලපා ගැනීමට සහ ක්ෂණිකව අදහස් පළ කිරීමට නොහැකි වී අසරණ විය. ඉතාලියේ පැවැති 'ජී7' සමුළුවේදී බයිඩන් අන්දමන්ද වී සිටිනු විදෙස් පුවත් හරහා දකින්න ලැබුණි. 75 වැනි නේටෝ සමුළුව පැවැත්වූයේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරය. එහිදී බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයාට රුසියන් ජනාධිපතිවරයා යැයි පැවැසීය. ඇමෙරිකාව ලෝක බලවතාය. ඇමෙරිකා ජනාධිපතිවරයා විය යුත්තේ ශක්තිමත් ජවය පිරි නායකයකුට ඇමෙරිකන් වැසියන් තුළින්ම හඬක් නැගෙන්න පටන් ගත්තේය. බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය තුළින්ම බයිඩන්ට විරෝධයක් නැගුණි. බයිඩන් නිසා, පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ බෙදීමක් ද හටගත්තේය‍. තමන් කිසිම අවස්ථාවක ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් නොවන බවත්, තමන්ට ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට හැකි බවත් බයිඩන් දිගින් දිගටම අවධාරණය කරන්න විය.

කෙසේ නමුත් අවසානයේ, තමන් කිසිම අවස්ථාවක ජනාධිපති සටනින් ඉවත් නොවන බව පැවැසූ බයිඩන්, ඉවත් වීමට තීරණය කළේ පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වුණු එම විරෝධය නිසාය. හිටපු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා පැවැසුවේ බයිඩන් නිවැරදි තීරණය ගත් බවත් දැන් ඔහු ගෞරවණීය ලෙස ජනාධිපති ධුරයෙන් සමුගනු ඇති බවත්ය. පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ජෝ බයිඩන්ය. ඇමෙරිකන් ජනතාවගේ යහපත වෙනුවෙන් බයිඩන් ගත් තීරණය ගෞරවාන්විත යැයි රටවල් රැසක රාජ්‍ය නායකයෝ පැවැසූහ. ඒ අතරේ, එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් ද වෙති.

ඉන්දීය සම්භවයක් ඇති 59 හැවිරිදි කමලා හැරිස්, දේශපාලනයට පිවිසීමට පෙර, කැලිෆෝනියා ජනපදයේ නීතිපති ලෙස කටයුතු කළාය. ඇය කණිෂ්ඨ සෙනෙට් සාමාජිකාවක් බවට තේරී පත් වූයේ 2017 වසරේදීය. කැලිෆෝනියාවේ නීතිපති බවට පත් වුණු පළමු කළු ජාතිකයා කමලා හැරිස්ය. 2020 ජනාධිපතිවරණ සටනට, ඩිමොක්‍රටික් පක්ෂයෙන්, බයිඩන් පමණක් නොව, ඇය ද ඉදිරිපත් වූවාය. කෙසේ නමුත් ඇයට ඉදිරියට යෑම කළ නොහැකි විය. හැරිස් යළි මැතිවරණ වේදිකාවට ගෙන්වා ගනු ලැබුවේ බයිඩන් විසිනි. ඒ, බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමෙන් පසුවය. බයිඩන් සිය දෙවැනියා මෙන්ම උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් තෝරා ගත්තේය. 2020 ජනාධිපතිවරණයෙන් බයිඩන් ජය ගත් පසු උප ජනාධිපති ධුරය කමලා හැරිස්ට හිමිවිය.

බයිඩන්‍, ජනාධිපති සටනින් ඉවත් වී, ඒ සඳහා තමන් සුදුසු යැයි යෝජනා කිරීම ගැන කමලා හැරිස් සතුට පළ කර තිබේ. එය ‘පරාර්ථකාමී, නිර්භීත, දේශප්‍රේමී ක්‍රියාවක්Z යැයි කමලා හැරිස් පෙන්වා දී තිබේ. ධුර අපේක්ෂිකාව වීම තමන්ට ලොකු ගෞරවයක් බව ද කමලා හැරිස් පැහැදිලි කර ඇත.

ඊට අමතරව, ඩිමොක්‍රටික් පක්ෂයේ ජය තහවුරු කිරීමට තමන්ට හැකි බව ද කමලා හැරිස් මාධ්‍ය හමුවේ පවසා තිබේ. කමලා හැරිස් ජනාධිපති ධුරයට පත්වුවහොත්, එම ධුරයට පත්වන පළමු කළු ජාතික කාන්තාව වනු ඇත්තේ ඇයයි. දකුණු ආසියානු සම්භවයක් ඇති, කළු ජාතික, පළමු ඇමෙරිකන් කාන්තා ජනාධිපති වනු ඇත්තේ ද ඇයයි.

කමලා හැරිස් උපත ලැබුවේ, 1964 ඔක්තෝම්බර් 20 වැනිදා කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. ඇගේ පියා ඇමෙරිකන් ජැමෙයිකානුවෙකි. ඔහු ආර්ථික විශේෂඥ මහාචාර්යවරයෙකි. ඉන්දීය සම්භවයක් ඇති කමලාගේ මව ශ්‍යාම ගෝපලාන් පියයුරු පිළිකා සම්බන්ධ විශේෂඥවරියකි. කමලා හැරිස්ගේ මව ජීවතුන් අතර නැත. ඇය දකුණු ඉන්දියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ 1960 දීය.‍‍‍‍

සී.එන්.එන් ඇසුරිනි


RECOMMEND POSTS