මස් කන බැක්ටීරියාව



මාංශපේෂී දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත. තවම මරණ කිසිවක් ජපානයෙන් වාර්තා නොවුණත්, ඉදිරියේ දී මරණ වාර්තා විය හැකි යැයි ජපන් සෞඛ්‍ය අමත්‍යාංශය පෙන්වා දී තිබේ.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති මෙම රෝගී තත්ත්වය ඇති කරන මාංශපේෂී දිය කරන එසේත් නැතිනම් කා දමන බැක්ටීරියාව ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බව පැවැසෙයි. 

ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතලගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණ වෙයි. ඉන්පසු උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂය ඉන්පසුව ඇතිවෙයි.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) රෝගී තත්ත්වය ඇති කරන මෙම බැක්ටීරියාව ස්ට්‍රෙප්ටෝකොකල් කාණ්ඩයට අයත් වෙයි. මෙම කාණ්ඩයේ බැක්ටීරියා මාරකය. 

මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිරෙයි. ඉන්පසු එය රුධිරයට ඇතුළු වෙයි. ඒ, බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරිමිනි.

බැක්ටීරියා පැතිරීම වයිරස මෙන් වේගවත් නොවන බවත්, මෙම බැක්ටීරියාවේ වේගවත් පැතිරීම ගැන තමන් ද දැඩි අවදානයෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙම බැක්ටීරියාව ආසදනය වී පැය 48 ක් ඇතුළත රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වන බව ද පැවැසෙයි. මරණ සම්භාවිතාව සියයට 30 කි.

ආසාදිතයෙක් නොවීමට නම් ...
පිරිසුදුකම පවත්වාගෙන යෑම, නිතර අත් සෝදා පිරිසුදු කිරීම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී හොඳ පුරුදු මගින් සෙසු වයිරස සහ බැක්ටීරියා විෂබීම පමණක් නොවෙයි මෙම ස්ට්‍රෙප්ටෝකොකල් බැක්ටීරියාවෙන් ද ආරක්ෂා විය හැකිය. පිරිසුදුකම සහ හොඳ පුරුදු ජීවිතයට අත්‍යාවශ්‍යය.

රෝගය හඳුනා ගැනීම
ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් රෝගී තත්ත්වයට ලක් වී සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ස්ථිරව දැන ගැනීම කඩිනමින් රෝගයට ප්‍රතිකාර ලබා දීමට හේතුව වෙයි. රුධිර පරීක්ෂණයකින් බැක්ටීරියා ආසාදනයක් ඇතිදැයි සැක හැර දැන ගැනීම කළ හැකි වන අතර, ඉන්ද්‍රීයයන් නිසි ලෙස ක්‍රියා කරනවාදැයි ද තහවුරු කරගත හැකිය. අක්මාවේ සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය ගැන විමසිලිමත් වෙයි. ස්ට්‍රෙප්ටෝකොකල්  ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් රෝගී තත්ත්වය අක්මාවත් වකුගඩුවලටත් හානි කරයි.

ප්‍රතිකර්ම
වයිරස සැවිටම ඒවායේ ස්වරූපය වෙනස් කරන බැවින්, වයිරසවලට ප්‍රතිකර්ම ඖෂධ හෝ එන්නත් නිපදවීම පහසු නැත. එසේ වුවත් බැක්ටීරියා ආසාදනවලදී ප්‍රතිජීවක ලබා දීම සිදු කෙරේ. ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් රෝගීන්ට ද ප්‍රබල ප්‍රතිජීවක ලබා දෙයි. ඒ සඳහා හඳුනාගත් රෝගීන් රෝහල්ගත විය යුතුය. ඉක්මණින් ක්‍රියා කළ යුතු බැවින් ප්‍රතිජීවක ලබා දීම කළ යුත්තේ අයි.වී. ක්‍රමයට සිරුරට එය ලබා දීමෙනි. රෝගීන්ට දියර ජාති බහුලව ලබා දිය යුතුය. ඒ, ඔවුන්ගේ රුධිර පීඩනය නිසි ලෙස පවත්වාගෙන යෑම සඳහා සහ ඉන්ද්‍රීයයන් නිසි ලෙස පවත්වාගෙන යෑම සඳහාය. රෝගී තත්ත්වය ඔඩුදුවා මාංශපේෂීවල බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වී ඇති නම්, මාංශපේෂීන් දිය කරන තත්ත්වයක් උදා වී ඇති නම්, ආසාදිත පටක ඉවත් කිරීමට ද වෛද්‍යවරුන්ට සිදුවෙයි.


RECOMMEND POSTS