ඩීප්-ෆේක් ගජබින්න



පුංචි සිදුවීමකින් මේ කතාව පටන් ගනිමු. ෆියෝනා බෲමේ ඇමෙරිකන් පර්යේෂිකාවකි; අධි අස්වාභාවික සංසිද්ධි සම්බන්ධයෙන් පර්යේෂණ කරන තැනැත්තියකි; ලේඛිකාවකි. ඇය රචනා කළ බොහෝ කෘතිවලට පාදක වන්නේ මිනිස් සිත සහ සිතුවිලිය. 2009 වසරේ, ෆියෝනා සිටියේ දකුණු අප්‍රිකාවේය. දිනක්, එක්තරා උත්සවයකදී, ඊට සහභාගී වූ සුදු ජාතික දකුණු අප්‍රිකානුවන් පිරිසක් සමඟ සුහදශීලීව දොඩමළු වීමට  ෆියෝනාට ඉඩ ලැබුණි. කතාබහ කරමින් යද්දී, දකුණු අප්‍රිකාවේ දේශපාලනය ප්‍රධාන මාතෘකාව බවට පත් විය. දකුණු අප්‍රිකා ජනාධිපති මෙන්ම එරට වර්ණභේදවාදය තුරන් කළ නෙල්සන් මැන්ඩෙලා දක්වා එම කතාබහ දුරදිග ගියේය. ෆියෝනා සමඟ කතාවට වැටුණු එම සුදු ජාතිකයන් පිරිස, දැන සිටියේ නෙල්සන් මැන්ඩෙලා ජීවතුන් අතර නොමැති බවත්, 1980 දශකයේ දකුණු අප්‍රිකාවේ සුදු පාලකයන්ගේ කෙණෙහිලිකම් මැද සිරදඬුවම් විඳිමින්, මැන්ඩෙලා බන්ධනාගාරයේදීම මියගිය බවත්ය. (ෆියෝනා එම පිරිස සමඟ කතාබහ කරද්දී පවා මැන්ඩෙලා ජීවතුන් අතර සිටි අතර, ඔහු අභාවප්‍රාප්ත වූයේ 2013 වසරේදීය.) ෆියෝනා සමඟ කතාවට වැටුණු සියලුදෙනා මැන්ඩෙලා 1980 දශකයේදී මියගිය බව දැඩි ලෙස විශ්වාස කරන්නන් වූ අතර, මැන්ඩෙලා තවමත් ජීවතුන් අතර සිටින බව විශ්වාස කිරීමට පවා ඔවුහු මැලි වූහ. මැන්ඩෙලා 1994 වසරේ සිට 1999 දක්වා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය හෙබවූ  බව පවා ඔවුන් පිළිගත්තේ නැත. පසුව, ෆියෝනා බෲමේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාවක් ද සකස් කළාය. මනෝවිද්‍යාවේදී, ව්‍යාජ මතක යනු කිසියම් බොරුවක්, කිසියම් බොරු සිතුවිල්ලක් එසේත් නැතිනම් මතකයක් සමාජ ගත කිරීමය. වැරදි තොරතුරු සහ ව්‍යාජ මතක ඇසුරින් මෙම බොරු නිර්මාණය වන්නේ සමාජය නොමඟ යැවීමේ අරමුණින්ය. මැන්ඩෙලාගේ සිද්ධිය සම්බන්ධයෙන්, ෆියෝනා සකස් කළ එම පර්යේෂණ වාර්තාව පාදක කර ගනිමින්, බොරුවක් සැබෑවක් ලෙස යම් අයකුට ඒත්තු ගැන්වීම, එසේත් නැතිනම් බොරුවක් සමාජගත කිරීම මනෝවිද්‍යාඥයන් අර්ථ ගන්වන්නේ, ‘මැන්ඩෙලා ඉෆෙක්ට්’ යන නමිනි.

ඇසෙන දේට වඩා දකින දේ විශ්වාස කළ හැකිය. එහෙම නේද? නැත. අද සමාජ මාධ්‍යවලට අප ඇබ්බැහි වුණු සහ සමාජ මාධ්‍ය විසින් අපව හසුරුවන මෙම නවීන ලෝකයේ, ඇසෙන දේ පමණක් නොව, දකින දේ පවා බොරුවකි රැවටිල්ලකි; මායාවකි. 'ඩීප්ෆේක්ස්' යනු එවැනි රැවටිල්ලකි. කලින් කී පරිදි සමාජ මාධ්‍ය මේ වන විට අපේ ජීවිතයේ කොටසකි. ස්මාට් ෆෝන් ජංගම දුරකතනයක් ඔබේ අතේ ඇති නම්, පරිගණක අතපත ගානවා නම්, ඔබ නිසැක වශයෙන්ම සමාජ මාධ්‍ය හා සම්බන්ධ වී සිටී. ඔබ සමාජ මාධ්‍ය මෙහෙයවයි. නිවරදිව කීවොත් සමාජ මාධ්‍ය ඔබව මෙහෙයවයි. ෆෙස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් ආදිය නිර්මාණය කර ඇත්තේ, විශේෂ පරිගණක වැඩසටහන් එසේත් නැතිනම් ඇල්ගෝරිතම් භාවිතයට ගනිමිනි.‍ ඒ.අයි. එසේත් නැතිනම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ද ඒවා සඳහා යොදා ගැනෙයි. ඩීප්ෆේක්ස් යනු කුමක්දැයි සරලව පැහැදිලි කළොත්, එය කෘත්‍රිම දෙයකි. සැබෑවක් ලෙස සිදු කරන බොරු මවා පෑමකි. පවතින රූපයක හෝ වීඩියෝවක සිටින පුද්ගලයකුගේ රුව (මුහුණ පමණක් නොව, අඟ පසඟ පවා) තව කෙනකුට සමාන අයුරින් වෙනස් කිරීමකි; ආදේශ කිරීමකි; රැවටිල්ලකි; ගජබින්නයකි. ගජබින්න යනු සැබෑවක් යැයි කීමට නොහැකි ආකාරයේ බොරුය. මෙම ශ්‍රව්‍ය දෘෂ්‍ය රැවටිල්ල සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, මෙය සැබැවින්ම යථාර්ථයද? මායාවක්ද? ඇත්තටම රැවටිල්ලක් ද නැද්ද? නිවැරදිව තහවුරු කර ගැනීම ගැටලුවකි. අසැබි කාමුක දර්ශන, කෙනෙකුගෙන් පළිගැනීමක් කිරීමට අසැබි කාමුක දර්ශන, ව්‍යාජ ප්‍රවෘත්ති, බොරු සහ මූල්‍ය වංචා සඳහා ඩීප්ෆේක්ස් රැවටිලි භාවිතයට ගැනෙයි. ඩීප්ෆේක්ස් රැවටිලි හඳුනා ගැනීම, ඉන්පසු ඒවාට ප්‍රතිචාර දැක්වීම කෙසේ කළ යුතුද යන්න සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටිය යුතුය.

කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වෙන ඩීප්ෆේක් වැනි මෘදුකාංග, තනි තනිව පුද්ගලයන්ට පමණක් නොව, සමස්ත සමාජයකටම බලපෑම් කරයි; ‘මැන්ඩෙලා ඉෆෙක්ට්’ තත්ත්වයක් නිර්මාණය කරයි. එහෙයින්, තාක්ෂණය සමඟ අපගේ ඉදිරි මඟ අවිනිශ්චිතය. රැවටිලි හඳුනා ගනිමින්, තනි තනිවම පුද්ගලයන්ට පමණක් නොව, සමාජයට බලපාන ආකාරය වටහා ගෙන, රැවටිල්ල හෝ බොරුව හඳුනාගෙන ඊට සුදුසු පියවරක් අනුගමනය කිරීම කළ යුතුය. මේ සඳහා රජය, තාක්ෂණික සමාගම් ප්‍රධානීන් සහ ජනතාව එක් විය යුතුය.

මෙම 2024 වසර, මැතිවරණ වසරකි. ලොවට විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකුණු ඉන්දීය මහ මැතිවරණය පසුගියදා නිමාවට පත් වූයේ නරේන්ද්‍ර මෝදිට තෙවැනි වරටත් ජනවරමක් දෙමිනි. නරේන්ද්‍ර මෝදි උපරිම ආකාරයට සමාජ මාධ්‍ය පරිහරණය කරයි. මෝදිගේ එක්ස් (ට්විටර්), ෆේස්බුක් ගිණුම් සමඟ එක් වී සිටින අනුගාමිකයන් ගණන මිලියන ගණනකි. මෙවර මහ මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සමාජ මාධ්‍ය අන් කවරදාටත් වඩා වැඩියෙන් භාවිත කළේය. මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය, හින්දු ජාතිකවාදීත්වය අවුස්සා, එරට මුස්ලිම් භීතිකාවක් ඇති කර ඡන්ද දිනා ගැනීමේ වැඩ පිළිවෙළක් ගෙන ගියේය. විපක්ෂයට මඩ ගැසීමට ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගත්තේය. ඩීප්ෆේක් වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දියානුවේ සරල අහිංසක වැසියෝ මෙවැනි ඇතැම් ඩීප්ෆේක් වීඩියෝ විශ්වාස කළහ.

ඩීප්ෆේක් තුළ හොඳ නරක දෙක ම ඇත. අධ්‍යාපන කටයුතුවලදී ආකිමිඩීස් කෙනකු හෝ ඇල්බට් අයින්ස්ටයින් කෙනකු හෝ නිව්ටන් කෙනකු හෝ ඩීප්ෆේක් ක්‍රමයට නිර්මාණය කර, හඬ කවා ඒ ඒ තැනැත්තා ලොවට ඉදිරිපත් කළ විදු දැනුම, ඔවුන්ගේ න්‍යායයන් ආදිය දරුවන්ගේ මනසට ගැළපෙන ආකාරයට ඉදිරිපත් කළ හැකිය. මෙය මේ වන විට සිදුවෙයි. මෙයින් කාටවත් හානියක් සිදුවන්නේ නැත. ඒ.අයි. තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණු නිවේදිකාවන් විවිධ රටවල විවිධ භාෂාවලින් ප්‍රවෘත්ති කියනු දැනටමත් දැකිය හැකිය. එම ප්‍රවෘත්තිවල නිවැරදි බව සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතනය වගකියන බැවින් එය ද ගැටලුවක් නොවෙයි. චිත්‍රපට සඳහා ද ඩීප්ෆේක් භාවිතයට ගනී. චිත්‍රපටයක් රූගත කරන අතර මඟ නළුවකුගේ සේවය අහිමි වුවහොත්, වෙන නළුවකු යොදා ගෙන එම නළුවාගේ සිරුර සහ මුහුණ ඩීප්ෆේක් භාවිතයෙන් නිර්මාණය කළ හැකිය. අපෙන් සමුගත් විශිෂ්ටතම ගායකයන්ට පණ දෙමින් සොෆ්ට් ලොජික් ආයතනය නිර්මාණය කළ පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය වුණු අපූරු වීඩියෝව, ඩීප්ෆේක් සඳහා මෙරට හොඳම උදාහරණයයි. ඩීප්ෆේක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වන්නේ හිතාමතා කෙනෙකු රවටා වංචාවක් කිරීමට, කප්පම් ගැනීමට, වැනි නීති විරෝධී කටයුත්තකට ඩීප්ෆේක් භාවිතයට ගැනීමේ ඇති හැකියාවයි. ඉදිරියේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන අතර, ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාජ හඬ පට ඇමෙරිකානුවන් අතරේ ප්‍රසිද්ධ වෙමින් පවතී. මේ ඡන්ද වාසි ගැනීම සහ මඩ ප්‍රචාර සඳහාය.

ඩීප්ෆේක් සත්‍ය අසත්‍ය භාවය අවබෝධ කර ගැනීම පහසු නොවෙයි. නිතරම පරිගණක සහ ජංගම දුරකතනවල රැදෙමින් ඒවා පරිශීලනය කරන සහ ලෝකය පිළිබඳ දැනුමක් ඇති අයකුට නම්, යම් තාක්දුරකට ඩීප්ෆේක් රැවටිලි අවබෝධ කර ගත හැකි වෙයි. ඒත්, හැමෝටම එය කළ නොහැකිය. නුදුරු අනාගතයේ දී මේ තාක්ෂණයේ වැඩි දියුණු වීමත් සමග විශේෂඥයකුට පවා එය වෙන්කර හඳුනා ගැනීම අසීරු වනු ඇත. යුරෝපා පාර්ලිමේන්තුව කෘත්‍රිම බුද්ධි නියාමනය කිරීමට කෘත්‍රිම බුද්ධි පනතක් හඳුන්වා දී ඇත්තේ ද මේ නිසාය. යුරෝපා රටවල කෘත්‍රිම බුද්ධි නියාමනයක් එමගින් සිදු කිරීමට අපේක්ෂිතයි. බෝල්ටික් කලාපයේ කුඩා රටක් වන එස්තෝනියාව ද ‘ක්‍රාට්’ යනුවෙන් නව නීති හඳුන්වා දී ඇත. චීනය මේ සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දුන්නේ 2019 දීය. ඒවා 2020 සිට ක්‍රියාත්මක වෙයි. ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් හෝ ඩීප්ෆේක් සම්බන්ධයෙන් හෝ බිය වීමක් අවශ්‍ය නැත. තර්ජන එල්ල වන්නේ නම් ඒවා හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීම කළ යුතුය. ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය අවියක් ලෙස නොව, පලිහක් ලෙස භාවිතයට ගත යුතුය. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්ත පොලිසිය ඒ.අයි. සම්බන්ධයෙන් ඇසෑම් ප්‍රාන්ත වැසියන් දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. විශේෂයෙන් දරුවන් යොදා ගනිමින්, ඩීප්ෆේක් වීඩියෝ හරහා සිදුවන අපයෝජන නැවැත්වීමට ඇසෑම් පොලිසිය සමත් වී ඇත. ඒ.අයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අප ජීවිතයේ කොටස්කරුවකු වෙද්දී, සමාජ මාධ්‍ය හරහා ඒවා අප ජීවිතයට තව තවත් සමීප වෙද්දී පෞද්ගලිකත්වය සහ දරුවන්ගේ ආරක්ෂාව ගැටලුවක් වී ඇත. නියාමනයට නව නීති සකස් කරමින් ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් දැනුවත් කළ යුතුය. රජය‍ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයන් සහ ප්‍රවීණයන් ආදී සියලු දෙනා සහ අදාළ සියලු පාර්ශ්ව එක් විය යුතුය.

‘ද වීක්’ සඟරාව ඇසුරිනි


RECOMMEND POSTS