ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය



පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් ප්‍රාන්තයේ, එළිමහන් වේදිකාවක, මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. මෙය දෙස් විදෙස් මාධ්‍ය කැලඹූ ප්‍රවෘත්තියයි.

එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කන අසල මුහුණ තුවාල කළේය. ‘පහත් වෙන්න’ යැයි කෑ ගසමින්, සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශය සාමාජිකයෝ වේදිකාවට පැන පහත්වුණු ට්‍රම්ප් බදාගෙන වට කර ගත්හ. වෙඩිකරු ස්නයිපර් තුවක්කුකරුවකි. තුවක්කුකරු වෙඩි තැබුවේ, මීටර් කීපයක් දුරින් පිහිටි උස ගොඩනැගිල්ලක වහලයේ සිටය. ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරය එල්ල වී, ඔහු බිමට පහත් වුණු එසැණින් තවත් වෙඩි තැබීම් දෙකක් ඇසුණි. ඒ, ට්‍රම්ප් සිටි තැනට දකුණු පසින් ඉහළ සිටි සීක්‍රට් සර්විස් ස්නයිපර් තුවක්කුරුවකු පෙරළා කළ වෙඩි තැබීමකි. එම වෙඩි තැබීමෙන්, ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු ජීවිතක්ෂයට පත්විය.

'වෙඩික්කරු මියගියා' ට්‍රම්ප් බදාගෙන ඔහු බිමට තද කරගෙන සිටි එක් ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය. 'අපි ඉන්මනින් මෙතැනින් යමු' යැයි තවත් නිලධාරියෙකු ට්‍රම්ප්ට පැවැසූ අතර, නිලධාරීන් පිරිස ට්‍රම්ප් බදාගෙන ඔහු අසල පිහිටි වෙඩි නොවදින රථයට ගෙන යෑමට සූදානම් විය. ‘මගේ සපත්තුව කෝ’ යැයි ට්‍රම්ප් කියනු ඇසුණි. ආරක්ෂක අංශ නිලධාරීන් එක පොදියට ට්‍රම්ප් වටකරගෙන වේදිකාවෙන් බසිද්දී ට්‍රම්ප් ඔහුගේ ආධාරකරුවන්ට අත වැනුවේ තමා හොඳින් බව පෙන්වමිණි. ‘ට්‍රම්ප් ට්‍රම්ප්’ යනුවෙන් සහ ‘යූ.එස්.ඒ, යූ.එස්.ඒ.’ යනුවෙන් රැස්ව සිටි පිරිස ජයඝෝෂා නගද්දී, ආරක්ෂක අංශ සාමාජිකයන්, ලේ පෙරාගෙන සිටි ට්‍රම්ප් ඔහුගේ වෙඩි නොවදින රථයට පටවාගෙන අසල පිහිටි බට්ලර් අනුස්මරණ රෝහලට රැගෙන ගියේය. නොබියව, තමන්ගේ ජීවිතය ගැන නොසිතා, රාජකාරියට මුල් තැන දෙමින්, වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සියලු දසුන් රූගත කළ සහ ඡායාරූපයට නැගූ මාධ්‍යවේදීන් නිසා සිදුවුණු සියල්ල හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක දසුන් පෙළක් මෙන්, දැක ගැනීමට හැකිවිය.

ට්‍රම්ප් වේදිකාවෙන් රැගෙන යද්දී පවා ඔහු යහතින් බව තහවුරු විය. සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශ සාමාජිකයන් රෝහලට යන අතරමඟදී එය සනාථ කළේය. රෝහලට ගිය සැණින්, ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කළේය. මට වෙඩි තිබ්බා.‍ මම වේදිකාවේ කතා කරමින් සිටිද්දී, වෙඩි හඬ කීපයක් ඇසුණා. හිටිහැටියේ දකුණු කණ අසලින් වේදනාවක් දැනෙන්න වුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කණ ළඟ තුවාල වෙලා. වෙඩි තැබීමක් සිදුවුණු බව මට තේරුණේ එවිටයි. මම මගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් හමුදා සහ පොලිස් නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් එසැණින් මට ආරක්ෂාව දුන්නා. වහා ක්‍රියාත්මක වී වෙඩික්කරු මෙල්ල කළා. රැලියට පැමිණ සිටි මගේ හිතවාදියෙක් වෙඩි වැදී මියගියා. ඒ ගැන මට කනගාටුයි. මම ඔහු වෙනුවෙන් ඔහුගේ පවුලේ අයට කනගාටුව පළ කරනවා. මට දැනගන්න ලැබුණා තවත් බරපතළ තුවාල ලැබූවන් දෙදෙනෙක් සිටින බව. ඇමෙරිකාවේ මැතිවරණ රැලියක මෙවැනි දෙයක් සිදුවීම බරපතළ අර්බුදයක්’ බව ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වෙයි.

වෙඩි තැබීම සිදුවෙද්දී ට්‍රම්ප් පසුපසින් වේදිකාවේ අසුන් ගෙන සිටි පිරිස් අතරේ කලබලයක් දකින්න නොලැබුණත්, ට්‍රම්ප් ඉදිරියේ රැස්ව සිටි පිරිස් වෙඩි තැබීමත් සමඟ මහත් සේ කලබල වූහ. එම අවස්ථාවේ දහස් ගණනක් ට්‍රම්ප්ගේ කතාව අසා සිටියහ. පිරිස අතරේ සිටි තිදෙනකුට වෙඩි වැදුණු බවත්, එක් අයකු එම ස්ථානයේදීම මියගිය බවත් බට්ලර් ප්‍රාන්ත නීතිපති රිචඩ් ගෝල්ඩින්ගර් ද අනාවරණය කළේය. වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ අනෙක් දෙදෙනා වහා රෝහල් ගත කෙරුණු බව ද පැවැසිණි.

ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයකු බව නීතිපති රිචඩ් ගෝල්ඩින්ගර් මාධ්‍ය හමුවේ අනාවරණය කළේ විමර්ශන කටයුතු සිදුවන අතරතුරේය. මෙම තරුණයා

පෙන්සිල්වේනියාවේ බෙතල් පාක්හි පදිංචිකරුවෙකි. ඔහු ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල කර තිබේ. එහෙත්, ට්‍රම්ප්ගේ මුහුණ තුවාල කළේ එයින් එක් උණ්ඩයක් පමණි. ට්‍රම්ප්ට මාරක වෙඩි ප්‍රහාරයක් එල්ල නොවුණේ ඔහු රැළිය අමතමින් සිටිද්දී, හිටිහැටියේ හිස දකුණු පැත්තට හැරවූ නිසා යැයි ද පැවැසෙයි. එහෙයින්, ස්නයිපර් වෙඩික්කරු හිස ඉලක්ක කර ගනිමින් එල්ල වුණු වෙඩි උණ්ඩය මුහුණ තුවාල කරමින් ගමන් කළ බවත් ට්‍රම්ප් සුළු තුවාල ලබා දිවි ගලවා ගත් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. තෝමස් මැතිව් කෲක්ස් සහ ඔහු භාවිත කළ ගිනි අවිය සම්බන්ධයෙන්, එෆ්.බී.අයි. ‍සහ ඒ.ටී.එෆ්. පරීක්ෂකයෝ දිගටම විමර්ශන පවත්වති. එෆ්.බී.අයි. යනු ඇමෙරිකන් ෆෙඩරල් විමර්ශන ඒකකයයි. ඒ.ටී. එෆ්. යනු ගිනි අවි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ෆෙඩරල් පරීක්ෂකවරුන්ය.

මේ අතර, ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යැයි ද චෝදනා එල්ල විය. ට්‍රම්ප් රැළිය අමතද්දී, වෙඩි තැබීම කළ ස්නයිපර් තුවක්කුකරු, අඩි 400 ක් ඈතින් පිහිටි උස් ගොඩනැගිල්ලේ වහලයට නගින අයුරු දුටු රැළියට සහභාගී වූ ට්‍රම්ප් ආධාරකරුවෙකු ඒ බව අසල සිටි පොලිස් නිලධාරීන්ට පැවැසුවත්, ඔවුන් එය ගණනකට නොගත් බව පැවැසෙයි. සිද්ධියෙන් තැති ගත් ග්‍රෙග් නමැති එම පුද්ගලයා ඔහු දුටු දේ සහ ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කළ බව බීබීසී පුවත් සේවය සමඟ පවසා ඇත. ‘වහලයට කෙනෙක් නගිනවා මම දැක්කා. මම ඒක පොලිසියේ මහත්වරුන්ට කීවා. ඒත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ. එසැණින් වෙඩි හඬ ඇසුණා’ යැයි ග්‍රෙග් පැහැදිලි කළේය.

මැතිවරණ රැලිය අතරතුරේ, තම ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බයිඩන් පැවැසීය. සිද්ධිය සැලවුණු සැණින් ජනාධිපති බයිඩන්, රිපබ්ලිකන්වරුන් අමතා ට්‍රම්ප්ගේ තත්ත්වය විමසා බැලූ බව ද වාර්තා වේ. එපමණක් නොව, බයිඩන් ට්‍රම්ප්ට ඇමතුමක් ද දුන්නේය. මෙවැනි තිරිසන්, පිළිකුල් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් අනුමත නොකරන බව ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉන්පසු පැවැති මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත. ඊට අමතරව, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියේර් ස්ටාර්මන් ද ප්‍රහාරය හෙලා දකිමින්, සිය එක්ස් ගිණුමේ සටහනක් පළ කළේය. ට්‍රම්ප්ට වෙඩි තැබීම ගැන අසා තමන් කම්පනයට පත්වුණු බවත්, මෙවැනි දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් කිසිම අවස්ථාවක අනුමත නොකරන බවත් කියේර් ස්ටාර්මන් පෙන්වා දුන්නේය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ එලැඹෙන නොවැම්බර් 5 වැනිදාය. ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙක වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂයයි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ඇත්තේ ධුර කාල දෙකක් පමණි. වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ පළමු ධුර කාලය මෙම වසරේ අවසන් වන අතර, තවත් ධුර කාලයක් ඉතිරි බැවින් ඔහු ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ට්‍රම්ප් 2017 සිට 2021 දක්වා ජනාධිපති ලෙස කටයුතු කළ අතර 2021 ජනාධිපතිවරණයෙන් බයිඩන්ට පරාජය වී, පරාජය බාර ගැනීමට අදිමදි කර අවසානයේ ධවල මන්දිරයෙන් පිටවී ගියේය. දැන් යළිත් වරක් ආරම්භ වී ඇත්තේ බයිඩන් සහ ට්‍රම්ප් අතරේ සටනකි. බයිඩන්ට වයස අවුරුදු 81 කි. ට්‍රම්ප්ට 78 කි. ඇමෙරිකාවේ පරමායුෂ ලෙස සැලකෙන්නේ අවුරුදු 75 සීමාවය.

2021 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, එය ජයගත් විට ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම තැනැත්තා වූයේ ජෝ බයිඩන්ය. දැන් යළිත් බයිඩන් ජනාධිපති වීමට උත්සාහ ගනිමින් සිටින අතර, වයස ඔහුට බාධාවක් වී ඇත. බයිඩන් එය පිළිගන්නේ නැත. බයිඩන්ට දිව පැටලෙයි. උප ජනාධිපතිනී කමලා හැරිස්ට ට්‍රම්ප් යැයි කියයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට පුටින් යැයි කියයි. වයසට යද්දී දුර්වල වීම සාමාන්‍ය දෙයක් වන නමුත්, ඇමෙරිකානුවන් පෙන්වා දෙන්නේ ලෝකයට ලොක්කා මෙන්ම, න්‍යෂ්ටික බලයෙන් පරිපූර්ණ ඇමෙරිකාවේ නායකත්වය හිමිවිය යුත්තේ ශක්තිමත් නායකයකු බවය. පසුගිය දා ට්‍රම්ප් සහ බයිඩන් අතර පැවැති සජීවී රූපවාහිනී විවාදයේ දී ද වචන සහ සිතුවිලි ගලපා ගැනීමට නොහැකිව බයිඩන් අසරණ විය.

සමීක්ෂණවලින් ද පෙනී ගියේ බයිඩන්ට වඩා ට්‍රම්ප් ජනප්‍රිය බවය. බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයේ සියයට 80 ක් පවසා ඇත්තේ බයිඩන් ජනාධිපති සටනින් ඉවත් විය යුතු බවත්, තරුණ ශක්තිමත් අපේක්ෂකයකු ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති සටනට ඉදිරිපත් විය යුතු බවත්ය. එහෙත් බයිඩන්, ජනපති සටනින් ඉවත් නොවන බව තරයේ පවසා ඇත. බයිඩන් මුරණ්ඩුය. ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ මෙවැනි පසුබිමක් යටතේය. තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි ට්‍රම්ප් පවසන්නේ වසර ගණනක සිටය. වෙඩි ප්‍රහාරයට ලක් වීම ට්‍රම්ප්ට දේශපාලනික වශයෙන් තවත් වාසියක් වීමට ඉඩ ඇත.

සී.එන්.එන් ඇසුරිනි


RECOMMEND POSTS