අබුඩාබි කුමරු මෝදි හමුවෙයි



අබුඩාබි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයාද් අල් නහ්යාන් ඉන්දීය සංචාරයකට පැමිණියේය.

අබුඩාබි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ඇරැයුමකට අනුවය. නවදිල්ලියට පැමිණි, මොහොමඩ් බින් සයාද් අල් නහ්යාන් කුමරු සහ දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් විසිනි.

මොහොමඩ් බින් සයාද් අල් නහ්යාන් කුමරු, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ලෙස ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. කුමරු සමඟ ඉන්දියාවට ආ දූත පිරිසට, අබුඩාඩි අමාත්‍යවරුන් සහ ව්‍යාපාරිකයන් රැසක් ඇතුළත් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අද (9) කුමරු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සාකච්ඡා පැවැත්වෙයි. ඒ, විවිධ ක්ෂේත්‍රයන්ට අදාලව, ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගනිමිනි. 

ඊට අමතරව අබුඩාබි කුමරු ඉන්දීය ජනාධිපතිනී දෞපදී මුර්මු හමුවීමටත්, මහත්මා ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්මටත් නියමිතය. හෙට (10) අබුඩාබි කුමරු ඇතුළු දූත පිරිස මුම්බායි නුවර පැවැත්වෙන ආර්ථික සමුළුවට සහභාගී වීමට ද නියමිතය.

අබුඩාඩි යනු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රධාන නගරයයි. ඉන්දියාවත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් අතරේ ශක්තිමත් සබඳතා පවතී. පසුගිය 2023 වසරේ අග්‍රාමාත්‍ය මෝදි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරය කළේය. ඒ, මෝදිගේ පස්වැනි එමිරේට්ස් සංචාරයයි. මෙම වසරේ ජනවාරියේ එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති මොහොමඩ් බින් සයේද් අල් නහ්යාන් ඉන්දීය සංචාරයකට පැමිණ අග්‍රාමාත්‍ය මෝදි හමුවී සබඳතා තරකර ගත්තේය.


RECOMMEND POSTS