පෘථිවියට සමාන ග්‍රහලෝකයක්
පසුගිය දා අපට විදෙස් පුවත්වලින් අසන්න ලැබුණු ප්‍රධාන පුවතක් වූයේ මෙයයි. මේ නව ග්‍රහලෝකය සොයා ගැනීම කළේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් කණ්ඩායමකි. ඔවුන්ට ඒ සඳහා ඇමෙරිකාවේ නාසා අභ්‍යවකාශ ඒජන්සියේ ද සහාය නොඅඩුව ලැබුණි. විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ ‘ග්ලීස් 12බී’ යන කේත නාමයෙනි. මෙම ග්‍රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් පමණ දුරිනි.
පෘථිවියට සමාන යැයි කියන මෙම ‘ග්ලීස් 12බී’ නව ග්‍රහලෝකය කක්ෂගත වී ඇත්තේ රතු වාමනයකු වටාය. රතු වාමනයකු යනුවෙන් හැඳින්වෙන්නේ තරු වර්ගයකි. අප සූර්යයා ද තරුවකි. රතු වාමන තාරකා, රතු පැහැයෙන් බබලන නමුත් මේවා දීප්තියෙන් අඩුය. තරු වර්ග බොහොමයක් විශ්වයේ දකින්න ලැබෙයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති තරුව, එසේත් නැතිනම් අපගේ සූර්යයා කහ වාමන තාරකාවකි. ‘ග්ලීස් 12බී’ නව ග්‍රහලෝකය, රඳවාගෙන සිටින ඒ රතු වාමන තාරකාව විද්‍යාඥයන් නම් කර ඇත්තේ ‘ග්ලීස් 12’ යන කේත නාමයෙනි. තාරකා විද්‍යාඥයන්ට නව තාරකා මණ්ඩලයක් හමුවුණු විට, ඔවුන් ඒවා නම් කරන්නේ තාරකා මණ්ඩලය මැද ඇති තරුව අනුව යමිනි. රතු වාමන තාරකාව ‘ග්ලීස් 12’ ලෙස ද පෘථිවියට සමාන යැයි පැවැසෙන නව ග්‍රහලෝකය ‘ග්ලීස් 12බී’ යන නමින් ද නම් කර තිබේ. මෙම නව ග්‍රහ මණ්ඩලයේ ඇති එකම ග්‍රහයා ලෙස සොයා ගෙන ඇත්තේ ද ‘ග්ලීස් 12බී’ ග්‍රහයා පමණි. තාරකාව ‘ග්ලීස් 12’ තරුව වටා තවත් ග්‍රහලෝක බොහොමයක් තිබිය හැකි බවත්, ඉදිරියේ දී ඒවා එකිනෙක සොයා ගැනීමට බලාපොරොත්තු වන බවත් විද්‍යාඥයන් පවසා තිබේ.
‘ග්ලීස් 12බී’ ග්‍රහලෝකය, ‘ග්ලීස් 12’ තරුව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් පමණ දුරිනි. විශ්වයේ ඇති වස්තූන් අතරේ දුර මැනීමට ප්‍රධාන වශයෙන් භාවිත කරන ඒකක කීපයකි. එයින් ද බහුලවම භාවිතයට ගැනෙන්නේ ආලෝක වර්ෂය. ඊට අමතරව, පාසෙක්ස් සහ නක්ෂත්ර ඒකක ද භාවිතයට ගැනීම සිදුවෙයි. ආලෝක වර්ෂයක් යනු කුමක්දැයි අප මුලින් බලමු. ආලෝක වර්ෂයක් යනුවෙන් හැඳින්වෙන ඒකකයට පාදක වන්නේ එදිනෙදා ජීවිතයේ අඳුර නිවා ගැනීමට උදවු වන ආලෝකයයි. ආලෝකය නිපදවීම විවිධාකාරය. නිවසේ බල්බයක් දැල්වූ විට අපට ආලෝකය ලැබේ. විද්‍යාඥයන් ගණනය කර ඇති ආකාරයට, එක තත්පරයකදී, කිලෝ මීටර් 299,337 ක දුරක් ගමන් කිරීමට ආලෝකයට පුළුවනි. ආසන්න වශයෙන් බැලුවොත්, එක් තත්ත්පරයකදී ආලෝක කිලෝ මීටර් ලක්ෂ 3 ක දුරක් ගමන් කරයි. එසේ නම්, ආලෝකය එක අවුරුද්දකදී ගමන් කරන දුර ප්‍රමාණය වන්නේ කිලෝ මීටර් 9,500,000,000,000 කි. තවත් පැහැදිලි කළොත් ආලෝකය, වර්ෂයක් තුළදී කිලෝ මීටර් ට්‍රිලියන 9.46 ක දුරක් ගමන් කරයි. මේ ආකාරයට ආලෝකය වසරකදී ගමන් කරන දුර ප්‍රමාණය ‘ආලෝක වර්ෂයක්’ ලෙස සැලකෙයි.
විද්‍යාඥයන්ට මෙම අපූරු ‘ග්ලීස් 12බී’ ග්‍රහලෝකය සොයා ගැනීමට හැකිවූයේ රාත්‍රී අහසේ දකින්න ලැබෙන මීන තාරකා රාශියේ, තාරකා නිරීක්ෂණය කිරීමේදීය. පැහැදිලිව තේරුම්ගත යුතු දේ වන්නේ, ‘ග්ලීස් 12බී’ නමැති මෙම නව ග්‍රහලෝකය පෘථිවියට ප්‍රමාණයෙන් සමාන බවය. ‘ග්ලීස් 12බී’ පෘථිවියට සමාන වන්නේ ප්‍රමාණයෙනි. මෙම නව ග්‍රහලෝකය ‘ග්ලීස් 12’ රතු වාමන තාරකාව වටා කක්ෂගත වෙන්නේ ‘හැබිටබල්’ කලාපය තුළය. ‘හැබිටබල්’ කලාපය යනු ග්‍රහලෝකයක්, එම ග්‍රහලෝකය අයත් තාරකා මණ්ඩලයේ ඇති තරුවට වඩාත් ළඟින් හෝ වඩාත් දුරින් හෝ පිහිටන්නේ නැතිව, මධ්‍යස්ථ ස්ථානයක පිහිටීමය. උණුසුම සහ සීතල දෙකම සම සමව පැවැතීම ජීවයේ බිහිවීමටත්, ජීවයේ පැවැත්මටත් හේතුවෙයි. ජීවයෙන් පිරුණු අප පෘථිවිය ඇත්තේ අප සෞරග්‍රහ මණ්ඩලයේ ‘හැබිටබල්’ කලාපය තුළය. ‘හැබිටබල්’ කලාපයක පිහිටන බැවින්, ‘ග්ලීස් 12බී’ ග්‍රහ ලෝකයේ ජලය පවතින්නේ නම්, ඒවා ද්‍රව ලෙස පැවැතීමට ඉඩ ඇත. එසේ නම් ‘ග්ලීස් 12බී’ ග්‍රහලෝකයේ ජීවය පැවැතීමට ඉඩ ඇත.
ග්‍රහලෝකය මත ජලය ද්‍රවමය තත්ත්වයෙන් පවතිනවා ද යන්න හෝ ජීවීන් සිටිනවා ද යන්න හෝ මෙතෙක් කිසිම ආකාරයකින් තහවුරු වී නැත. ‘ග්ලීස් 12බී’ ග්‍රහලෝකයේ වායු ගෝලයේ සංයුතිය අධ්‍යයනය කිරීමට අවශ්‍ය දත්ත තවමත් විද්‍යාඥයන්ට ලබා ගැනීමට හැකිවී ද නැත. ඉදිරියේ දී ‘ජේම්ස් වෙබ්’ වැනි අභ්‍යවකාශ දුරේක්ෂ ආධාරයෙන් ‘ග්ලීස් 12බී’ ග්‍රහලොවේ තවත් දත්ත එක් රැස් කර ගැනීමට විද්‍යාඥයෝ සූදානමින් සිටිති. ‘ග්ලීස් 12බී’ ග්‍රහලෝකයට, එය අයත් රතු වාමන තාරකාව වටා එක් වටයක් ගමන් කිරීමට දින 12.8 ක් ගතවෙයි. අප පෘථිවියට, සූර්යයා එසේත් නැතිනම් හිරු වටා එක් වටයක් යෑමට දින 365 ක් නැතිනම් අවුරුද්දක් ගත වෙයි. අනාගතයේ කවදා හෝ දිනක, ‘ග්ලීස් 12බී’ ග්‍රහලෝකයේ පදිංචියට යා හැකි නම්, ‘ග්ලීස් 12බී’ ග්‍රහලෝකයේ එක් අවුරුද්දක් යනු දින 12 ක් හෝ 13 ක් වැනි ගණනකි. ලැබී ඇති දත්ත අනුව, ‘ග්ලීස් 12බී’ ග්‍රහලෝකයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් පමණ යැයි ද අනුමාන කෙරේ.
අද වනවිට තාරකා විද්‍යාඥයන්ට විශ්වයේ ඈත පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීමට උදවු වන අභ්‍යවකාශයේ රැඳවූ දුරේක්ෂ කිහිපයකි. 2018 දී අභ්‍යවකාශයට යැවුණු ‘ටෙස්’ ඒ අතරින් එක් දුරේක්ෂයක් පමණි. 1990 දී අභ්‍යවකාශයට යවා, අවස්ථා කීපයකදී, අලුත්වැඩියා කළ තවමත් ක්‍රියාකාරීව පවතින ‘හබල්’ දුරේක්ෂය, 2021 දී අභ්‍යවකාශයට යැවුණු ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය ද විශ්වයේ ඈතින් ඇති ග්‍රහලෝක සොයයි. මේ සෑම දුරේක්ෂයකින්ම අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති පිටසක්වළ ග්‍රහලෝක 5,000 කට වැඩි ගණනක් සොයා ගැනීම කර තිබේ. පෘථිවියට සමාන ග්‍රහලෝක සෙවීමේ දී කැපී පෙනෙන මෙහෙවරක් කළේ, 2009 දී අභ්‍යවකාශයේ රැඳවූ ‘කෙප්ලර්’ දුරේක්ෂයයි. අද මෙම දුරේක්ෂය භාවිතයට ගැනෙන්නේ නැත. 2018 වසරේ ‘කෙප්ලර්’ දුරේක්ෂයේ කටයුතු අවසන් විය. තරුවක් වටා ඇති ග්‍රහලෝකයක් එම තරුව පසු කර ගෙන යද්දී, තරුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්වීම් හඳුනා ගැනීමට අභ්‍යවකාශ දුරේක්ෂවලට හැකියාව ලැබේ. ‘ග්ලීස් 12’ රතු වාමන තාරකාව සහ ‘ග්ලීස් 12බී’ නව ග්‍රහලෝකය විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකිවූයේ ද එලෙසිනි.
ස්තුතිය - නාසා ආයතනයට