අගමැති රිෂී සුනාක් සෞදියට-ඊජිප්තුවට



ඊශ්‍රායලයට ගොස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සෞදි අරාබියට ගොස් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු හමුවිය.

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් අතර හටගත් අර්බුදය කඩිනමින් විසඳිය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුනාක් මෙන්ම සෞදියේ සල්මාන් කුමරුන් ද ඒකමතිකව තීරණය කළ බව පැවැසිණි. ඊශ්‍රායල හමාස් ගැටුම කලාපීය අර්බුදයක් සහ ඉන්පසු ගෝලීය අර්බුදයක් තෙක් වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතු බව සල්මාන් කුමරු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට පැවැසුවේය.

සල්මාන් කුමරු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, බ්‍රිතාන්‍ය  අග්‍රාමාත්‍යවරයා ඉන්පසු ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණියේය. ඊජිප්තු ජනාධිපති අල් සීසීගෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුනාක්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ගාසා තීරය, ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ මැදිහත් වීමෙන් ඊජිප්තු ගාසා රෆා දේශසීමාව ඔස්සේ ගාසා පලස්තීන වැසියන්ට ආධාර යැවීමේ සූදානමක් පවතී.

රිෂී සුනාක්, ඊජිප්තු ජනාධිපති අල් සීසී හමුවී, එම මානුෂීය ආධාර පලස්තීන වැසියන්ට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ට්‍රක් රථ 20 ක්, දේශසීමා හරහා ඊජිප්තුවේ සිට ගාසා තීරයට යෑමට සූදානම් වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS