ඉරාන ඊශ්‍රායල විරසකය



සිරියාවේ විදෙස් තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල බොහොමයක් පිහිටා ඇත්තේ ඩමැස්කස් අගනුවර මෙසා දිස්ත්‍රික්කයේය. පසුගිය අප්‍රේල් පළමු වැනිදා, මෙසා දිස්ත්‍රික්කයේ එක් ගොඩනැගිල්ලක් පිපිරී සුනුවිසුණු විය. ගොඩනැගිල්ලට එල්ල වූයේ මිසයිල ප්‍රහාරයකි. මිසයිල ප්‍රහාරය, ඉතාමත් නිවැරදිව, එම ගොඩනැගිල්ලේ පිහිටි එක් කාර්යාලයක් ඉලක්ක කර ගනිමින් එල්ල වී තිබුණි.

එම කාර්යාලය, සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයයි. ප්‍රහාරයෙන් කොන්සල් කාර්යාලයේ සිටි හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉරාන විප්ලවීය හමුදාවට අයත්, කුද්ස් නමැති අතිරේක හමුදා බලඇණියේ අණ දෙන නිලධාරීන් දෙදෙනකු ද ඒ අතර විය. බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ නියෝජ්ය ජෙනරාල් මොහොමඩ් හාඩි හජ්රියාහිම් යනු ඔවුන් දෙදෙනාය.

මියගිය සෙසු පිරිස අතර කොන්සල් කාර්යාල නිලධාරීන් සහ ඉරාන හමුදා නිලධාරීන් සිටි බව සිරියාවේ ඉරාන තානාපති හුසේන් අක්බාරී පසුව පැවැසීය. මිසයිල ප්‍රහාරයෙන් මියගිය බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ ජෙනරාල් මොහොමඩ් හාඩි හජ්රියාහිම් ඉරාන වැසියන්ගේ ගෞරවාදරයට පත් ඉරාන විප්ලවීය හමුදාවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකි.

මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලය යැයි ඉරානය චෝදනා නගන්න වූයේ රුසියාව ඒ සම්බන්ධයෙන් සැක පළ කරද්දීය. රුසියාව, ඉරානය සමඟත්, සිරියාව සමඟත් යහපත් සබඳතා පවත්වයි. සිරියාවේ රුසියන් ගුවන් කඳවුරක් ද ඇත. සිරියානු රජය වෙනුවෙන් එරට විදේශ ඇමති ෆයිසාල් මෙක්ඩෑඩ් එම මිසයිල ප්‍රහාරය, හෙලා දුටුවේ ත්‍රස්ත ප්‍රහාරයක්ලෙස එය හඳුන්වමිනි. ඉරාන විදේශ ඇමති හොසේන් අමීර් අබ්දුල්ලහියාන්, ඊශ්‍රායලයට දොස් නැගුවේ, ඉරාන කොන්සල් කාර්යාලයට පහර දීම, සියලු ජාත්‍යන්තර බැඳීම් සහ සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බව පවසමිණි. තම හමුදා ප්‍රධානීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට කිසිදු සමාවක් නොදෙන බවත්, ඊශ්‍රායලයෙන් පළිගන්නා බවටත් ඉරාන විප්ලවීය හමුදාව පොරොන්දු වූයේ මෙම අවස්ථාවේදීය. එය කිසිසේත්ම හිස් පොරොන්දුවක් වූයේ නැත.

ඒ අනුව, ඉරානය, පසුගිය සෙනසුරාදා එනම් 13 වැනිදා, ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරය සඳහා, ඉරාන විප්ලවීය හමුදාවට සහාය පළ කරමින්, ඉරාකයේ සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් සහ යේමනයේ ඉරාන හිතවාදී සටන්කාමීන් සිය දායකත්වය ලබා දුන්නේය. විවිධ වර්ගයේ මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුන් රහිත ඩ්‍රෝන යානා 300 ක් ඉතා වේගයෙන් ඊශ්‍රායලය දෙසට ඇදී එන්න විය. ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීම අද ප්‍රධාන පෙළේ යුද උපක්‍රමයකි. ලෝක ඉතිහාසයේ පළමු වරට, ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් ප්‍රහාරයක් සඳහා භාවිතා කළ පළමු අවස්ථාව මෙයයි. ඉරානයත් ඊශ්‍රායලයත් පරම සතුරන් වී අඩ සියවසකට ආසන්නය. එම කාලය තුළ ඉරානය, සෘජුව, ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව ද මෙයයි.

අපි අවුරුදු උදාවට සූදානම් වෙද්දී, ලෝකයම සිටියේ තැතිගෙනය. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ, පැය 24 ක් ඇතුළත ඉරානය ඊශ්‍රායලයට පහර දෙන බවත්, ඒ වනවිට ඉරානය ඔවුන්ගේ මිසයිල ස්ථානගත කර ඇති බවත්ය. සිරියාවේ ඩමැස්කස් අගනුවර තම කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය කළ ප්‍රහාරයට පළිගන්නා බව ඉරානය දිගින් දිගටම පවසා තිබුණු අතර, පසුගිය සතියේ ඉරානය ඇමෙරිකාවට ලිපියක් ද යැවීය. තමන් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන බවත්, කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය පළ කරන ඇමෙරිකාව පැත්තකට වී සිටියොත් හොඳ බවත් එම ලිපියේ සඳහන් විය. ඊශ්‍රායලයට පහර දීමට ඉරානය සූදානම් වෙද්දී, මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව නවත්වා දැමුණි. (ගුවන් ගමන් යළි යථා තත්ත්වයට පත්වූයේ පසුගිය 14 වැනිදාය.) ඊශ්‍රායලයේ අසල්වැසියා ජෝර්දානය එරටට හදිසි තත්ත්වක් ද ප්‍රකාශයට පත් කළේය. ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ වැසියන්ට වහා ඊශ්‍රායලයෙන් පිටවෙන්නැයි දැනුම් දුන්නේය.

ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය නම් කර තිබුණේ ‘ඔපරේෂන් ටෲ ප්‍රොමිස්’ යනුවෙනි. ඩමැස්කස් කොන්සල් කාර්යාලයට එල්ල කළ  ප්‍රහාරයට පළිගැනීමක් ලෙස, ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන බවට ඉරානය දුන් පොරොන්දුව සහතික කිරීම, මෙහෙයුමේ අරමුණ විය. ඒ අනුව, පසුගිය සෙනසුරාදා (13) ඊශ්‍රායලට‌ පැය 5 ක් තිස්සේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය. ප්‍රහාරය එල්ල වෙද්දී, ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’, ‘ඩේවිඩ් ස්ලිංග්’ සහ ‘ඇරෝ සිස්ටම්’ යන මිසයිල නාශක ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වී, ඉරානය දෙසට ආ මිසයිල සහ ඩ්‍රෝන යානා උඩු ගුවනේදීම විනාශ කෙරුණි. මධ්‍යධරණී මුහුදේ සිටි ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැව් ද පහර දී ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා විනාශ කළේය. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ද සහාය ඊට ලැබුණි. මිසයිල සහ ඩ්‍රෝන ජෝර්දානයට ඉහළින් පියාසර කරද්දී, ජෝර්දානය ද ඒවායින් බොහොමයක් පහර දී විනාශ කළේය. ප්‍රහාරය අතරතුර, ඊශ්‍රායලයේ ටෙල් අවිව් ඇතුළු නගර කීපයක පිපිරුම් හඬ අසන්න ලැබුණි. ඒ, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් මිසයිල සහ ඩ්‍රෝන යානා පුපුරා ගිය හඬය.

ඊශ්‍රායලයේ ප්‍රධාන හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි මාධ්‍ය හමුවේ පැවැසුවේ, ඉරානය ඔවුන්ගේ ප්‍රහාරයට දිගු දුර බැලස්ටික් මිසයිල 120 කට වැඩි ප්‍රමාණයක්, ඩ්‍රෝන යානා 170 ක් වැඩි ප්‍රමාණයක් සහ කෲස් මිසයිල 30 කට වැඩි ප්‍රමාණයක් යොදා ගත් බවය.

ඊශ්‍රායල හමුදාව, ගෝලාන් කඳුකරයේ, සිරියානු සහ ලෙබනන් දේශසීමා අසල සහ දකුණු දෙසින් පිහිටි නෙවාටිම්, ඩිමෝනා සහ අයිලට් යන පළාත් ද අත්පත් කරගෙන සිටී. මෙම පළාත් සහ නගර මිසයිල ද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයේ ඉලක්කය විය. නෙවාටිම් හි ඊශ්‍රායල ගුවන් ක‍ඳවුරක් ඇත. ඩිමෝනා හි ඇත්තේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකි. ඊලට් වරායට ද මිසයිල සහ ඩ්‍රෝන යානා එල්ල විය. ඊලට් යනු ඊශ්‍රායලයේ දකුණු රතු මුහුදේ වරායකි. මෙම වරාය නිරන්තරයෙන් යේමනයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ප්‍රහාරවලට ලක් වෙයි. ඊශ්‍රායලයට එල්ල වුණු ඉරාන ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් කීප දෙනකුට සුළු තුවාල සිදුවිය. අට හැවිරිදි දැරියක ද එසේ තුවාල ලැබූවන් අතරේ සිටින බව පැවැසෙයි. ගොඩනැගිලි කීපයකට ද සුළු හානි සිදුවිය. මරණ කිසිවක් වාර්තා වී නැත.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ, ඉරානය සමඟ ඕනෑම මොහොතක ගැටුමකට යෑමට තමන් සූදානම් බවය.“ඉරානය වසර ගණනක් තිස්සේ අපට පහර දෙන්න බලාගෙන හිටියා. දැන් ඔවුන් එය කළා. ඇමෙරිකාව,  බ්‍රිතාන්‍යය අප සමඟ සිටීම අපට ලොකු ශක්තියක්.‍ ඊශ්‍රායලය යනු ශක්තිමත් රටක්. නොසැලෙන රටක්. අපට ඉන්නවා ශක්තිමත් හමුදාවක්. ශක්තිමත් රට වැසියන් පිරිසක්. අපට හානි කරන අයකුට අප සමාව දෙන්නේ නැහැ. අප පෙරළා පහර දෙනවා. අපට පහර දුන්නොත්, පෙරළා පහර දී ආරක්ෂා වෙන්න අපට අයිතියක් තියෙනවා” යැයි ඊශ්‍රායල අගමැතිවරයා වැඩි දුරටත් පවසා ඇත. ඉරාන ප්‍රහාරයට පිළිතුරු ලබාදෙන ආකාරය සාකච්ඡා කිරීමට ඊශ්‍රායල යුද කැබිනට්ටුව ද රැස්විය.

තමන් ඊශ්‍රායලයට පහර දුන්නේ ඊශ්‍රායල හමුදාව සිරියාවේ පිහිටි තම කොන්සල් කාර්යාලයට පහර දුන් නිසා යැයි ඉරානය දිගින් දිගට පැවැසීය. ඊශ්‍රායලය පහර දීම පළිගැනීමක් බව පෙන්වා දුන්නේය. තමන් ඊශ්‍රායලයට එල්ල කළේ ‘සීමාසහිත ප්‍රහාරයක්’ බවත් දිගින් දිගට ප්‍රහාර එල්ල කිරීමට අදහස් නොකරන බවත් ඉරානය අවධාරණය කළේය. කෙසේ නමුත් ඊශ්‍රායලට තමන්ට දිගින් දිගටම පහර දෙන්නේ නම්, එම තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බවත්, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හමුදා ක‍ඳවුරුවලට පවා පහර දීමට තමන් පසුබට නොවන බවත් ඉරාන  ආරක්ෂක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොම්මඩ් බගේරි පැහැදිලි කළේය. ඉරානයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දෙන්න තමන් සූදානම් බවත්, ඕනෑම ප්‍රහාරයකින් ආරක්ෂා වීමට ශක්තිය ඇති බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර තිබේ. කෙසේ නමුත් ඉරානයට පහර දීමට ඊශ්‍රායලයට සහාය නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත. ජනාධිපති බයිඩන් මේ බව අවධාරණය කළේ ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සමඟ දුරකතනයෙන් සාකච්ඡා කරමිණි. රාජ්‍ය නායකයන් දෙදෙනාගේ එම දුරකතන සාකච්ඡාව විනාඩි 25 ක් තිස්සේ පැවැත්විණි.

ඉරානය, ඊශ්‍රායලයට පහර දීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් ඉරානයේ තෙහෙරාන් අගනුවර ස්ථාන කීපයකට රැස්වුණු ඉරාන වැසියෝ දහස් ගණනක් ප්‍රීතිඝෝෂා කරන්න වූහ. ඉරාන වැසියන් ප්‍රීතිඝෝෂා කළේ යුදෙව් ඊශ්‍රායලය ඉරානයටත්, ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන්ටත් දිගින් දිගටම කරන කෙණෙහිලිකම්වලට එරෙහිව ඉරාන රජය නැගී සිටීම පැසැසුමට ලක් කරමිනි. ඊශ්‍රායලය ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට පහර දීමත්, ඊට ප්‍රතිචාර දක්වමින්, පළිගනිමින් ඉරානය ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමත්‍, මාස 6 කට වැඩි කාලයක් තිස්සේ ඔඩුදුවන ඊශ්‍රායල හමාස් ගැටුමේ දිගුවකි.

පසුගිය 2023 ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් (ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ද ඇතුළුව) දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී ප්‍රහාරයක් එල්ල කළේ ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ අසරණ කරමිණි. එසේ ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන් විදේශිකයන් ද ඇතුළු ඊශ්‍රායල වැසියන් 253 දෙනකු පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගියේ ප්‍රාණ ඇපකරුවන් ලෙසය. ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට ගුවනින් පමණක් නොවෙයි, ගොඩබිමින් ද පහර දෙයි. කෙටි සටන් විරාමයක් අතරතුරේ හමාස් ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් සහ විදේශිකයන් පිරිසකට නිදහස හිමිවිය. ඔවුන් යළි ඊශ්‍රායල හමුදාවට බාර දීම ද සිදුවිය. එසේ වුවත් අද වනවිට හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් ගණන 129 කි. ඊශ්‍රායලය ගාසා තීරයට පහර දෙන්නේ, හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමටය. හමාස් දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය. ගාසා තීරයේ බලයේ සිටින්නේ මෙම හමාස් සංවිධානයයි. පලස්තීන මුස්ලිම් වැසියන් ජීවත් වන එක් ප්‍රදේශයක් වන්නේ මෙම ගාසා තීරයයි. අනෙක් ප්‍රදේශය බටහිර ඉවුරය. ඉටහිර ඉවුරේ පාලනය ඇත්තේ පලස්තීන පාලන අධිකාරිය සතුවය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීන මුස්ලිම් වැසියන් ගණන 33,729 කි. ඒ අතර, කුඩා දරුවෝ 13,800 ක් වෙති. මියගිය පිරිස අතරේ සිටින කාන්තාවන් ගණන 8,400 කි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ගාසා වැසියන් ගණන 76,371 කි. ප්‍රහාර හේතුවෙන් බිමට සමතලා වූ ගොඩනැගිලි සහ නිවාසවල සුන්බුන් අතරේ සැඟව ගොස් අතුරුදන් වූ ගණන 8,000 ඉක්මවයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඉරානය දිගින් දිගටම කනස්සල්ල පළ කළේය. ප්‍රහාර නවත්වන්නැයි ඊශ්‍රායලයට බල කරන්නැයි ඉරානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පමණක් නොව ඇමෙරිකාවෙන් ද ඉල්ලීමක් කළේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීමට අණ දුන්නේ, රිසි ලෙස පහර දීම් කරන්නැයි ඇමෙරිකාවෙන් ලැබුණු අවසරය අනුවය. හමාස් ප්‍රහාරයෙන් පසු, ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පවසමින් ඇමෙරිකාව ඊශ්‍රායලට සහාය ලබා දෙයි. හමාස් සටන්කාමීන්ට, අවි ආයුධ දෙමින්, අවි පුහුණුව දෙමින්, ඔවුන්ට සහාය දෙන්නේ, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඉරානයයි. මෙය රහසක් නොවෙයි. ගාසා තීරයට පහර දෙන අතරතුරේ ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ද පහර දෙයි. ඉරාකයේ සහ සිරියාවේ ඉරාන ඉලක්කවලට පහර දෙයි. ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට පහර දීම සිදුවූයේ ද ඒ අනුවය.

අද පසමිතුරන් වුවත්, ඉරානයත් ඊශ්‍රායලයත් අතීතයේ සමීප මිතුරන් විය. 1925 වසරේ සිට, 1979 වසරේ ඉරාන විප්ලවය තෙක්, ඉරානයේ පැවැතියේ රාජ්‍ය පාලනයකි. ඉරානය ෂා පාලනයක් යටතේ පැවැතිණි. (පර්සියන් භාෂාවට අනුව ෂා යනු රජුය.) ඉරාන ඊශ්‍රායල මිතුදම් ශක්තිමත් වූයේ මෙම කාලයේය. 1948 දී, පලස්තීන පාලන ප්‍රදේශ දෙකඩ කර, ලොව එකම යුදෙව් රාජ්‍යය ලෙස ඊශ්‍රායලය බිහිවෙද්දී, ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගනිමින්, ඊශ්‍රායලයට පළමුවෙන්ම සහාය දැක්වූ දෙවැනි මුස්ලිම් රට ඉරානයයි. ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගත් පළමු මුස්ලිම් රට තුර්කියයි.

බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු පලස්තීන භූමියේ පාලනය කෙසේ වියයුතුදැයි තීරණය කිරීමට, 1947 දී, එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවක් පත් කෙරුණු අතර, ඊට සාමාජික රටවල් 11 අයත් විය. එයින් එක් සාමාජික රටක් වූයේ ඉරානයයි. එදා පලස්තීන භූමිය දෙකඩ කිරීමට ඉදිරිපත් වුණු යෝජනාවට විරුද්ධව ඡන්දය පළ කළ රටවල් තුනෙන් එක් රටක් වූයේ ද ඉරානයයි. පලස්තීන භූමියට දෙකඩ කිරීම මැදපෙරදිග කලාපයේ දීර්ඝ කාලීන අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත්, පරම්පරා ගණනාවක් එයින් පීඩාවට පත්වනු ඇති බවත් මුලින්ම ලොවට හඬ නැගුවේ ද ඉරානයයි.

එම යෝජනාවට විරුද්ධව, ඉරානය විකල්ප සැලැස්මක් ඉදිරිපත් කළේ ඉන්දියාවත්, එවකට පැවැති යුගොස්ලොවේකියාවත් සමඟ එක් වෙමිනි. පලස්තීනය එක් පාර්ලිමේන්තුවක් සහිත රාජ්‍යයක් ලෙස තබා ගනිමින්, අරාබි සහ යුදෙව් ප්‍රජාව සඳහා වෙන් වෙන්ව පළාත් ලබා දී ෆෙඩරල් බලය පැවැරීම එම විකල්ප සැලැස්ම විය. එම සැලැස්මට පිළිගැනීමක් ලැබුණේ නැත. අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ප්‍රමාණයට වඩා වැඩි භූමි ප්‍රදේශයක් ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබුණි. 1948  දී පළමු අරාබි ඊශ්‍රායල යුද්ධයේ ආරම්භය විය. ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගැනීමට පියවර ගත්තේ ඉරානයේ දෙවැනි පහ්ලවී රජු, එසේත් නැතිනම් ෂා (රජු) මොහමද් රේසා පහ්ලවීය.

1948 දී ඊශ්‍රායලය බිහි වීමෙන් පසු පලස්තීන මුස්ලිම් වැසියන්ට කෙණෙහිලිකම් ආරම්භ විය. 1951 දී මොහොමඩ් මොසාඩෙග් ඉරානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, බ්‍රිතාන්‍යය විසින් ඒකාධිකාරී කරන ලද ඉරානයේ තෙල් කර්මාන්තය ජනසතු කළේය. අග්‍රාමාත්‍ය මොසාඩෙග්,

ඊශ්‍රායලය සමඟ සබඳතා අත්හැර දැමීමට තීරණය කළේය. ඒ, ඊශ්‍රායලය කලාපීය වශයෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අවශ්‍යතා ඉටු කරන බවට දොස් නගමිණි. 1953 දී බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකන් බුද්ධි අංශ මෙහෙයවූ කුමන්ත්‍රණයකින් මොහොමඩ් මොසාඩෙග් බලයෙන් නෙරපා දැමුණි. බටහිර හිතවාදී ෂා පාලනයක් යළි ඉරානයේ ස්ථාපිත කෙරුණි. ඉරාන සහ ඊශ්‍රායල තානාපති සබඳතා ආරම්භ විය. දෙරට අතරේ වෙළඳ සබඳතා වර්ධනය වූ අතර ඉක්මනින්ම ඉරානය ඊශ්‍රායලය සඳහා ප්‍රධාන තෙල් සපයන්නෙකු බවට ද පත් විය. ඉරානයේ තෙල් යුරෝපයට යැවීම ඊශ්‍රායලය හරහා සිදු විය.

1979 දී ඉරාන විප්ලවයෙන් පසු ෂා (රජු) බලයෙන් නෙරපා දැමුණු අතර, ඉරාන රාජවංශයේ අවසානය ද සනිටුහන් විය. ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පත් වූයේ විප්ලවයේ නායකයා වූ අයතුල්ලා රුහොල්ලා කොමේනි යටතේය. අයතුල්ලා රුහොල්ලා කොමේනි, ඉරානයේ උත්තරීතර නායකයා බවට පත්වූයේ ඉස්ලාම් දහම වෙනුවෙන් පෙනී සිටිමින්, නව ලෝක දර්ශනයක් හඳුන්වා දෙමිනි. පලස්තීන මුස්ලිම් වැසියන්ට එරෙහිව එල්ල වුණු කෙණෙහිලිකම්වලට එරෙහිව ඉරානය නැගී සිටින්න පටන් ගත්තේය. ඇමෙරිකාව ‘සාතන්’ ලෙස ද ඊශ්‍රායලය ‘කුඩා සාතන්’ ලෙස ද හැඳින්වීමට ඉරානය කටයුතු කළේය. ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ එදිරිවාදිකම් දිනෙන් දින ඔඩුදුවද්දී, ඉරානය සහ ඊශ්‍රායලය පරම සතුරන් බවට පත් විය. පලස්තීන අර්බුදය දශක ගනනාවක් තිස්සේ ඉරාන ඊශ්‍රායල සතුරුකම්වල කේන්ද්‍රය වී ඇත.

ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරා ඇමෙරිකාවන වන අතර, ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට ඇමෙරිකාව සැදී පැහැදී සිටී. ඉරානය සහ ඇමෙරිකාව අතර නොහොඳ නෝක්කඩු පවතින්නේ මේ නිසාය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව ඊශ්‍රායලයට පෙන්වා දී ඇති බැවින්, ඇමෙරිකාව ඉරානයට ඒ සම්බන්ධයෙන් සම්බාධක පනවා තිබේ. එසේ වුවත්, ඇමෙරිකන් සම්වබාධක හමුවේ ඉරානය නැගී සිටී. ඉරානයට, ලෝක බලවතුන් දෙදෙනා වන චීනයෙත් රුසියාවේත් සහාය නොඅඩුව හිමිවෙයි.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS