ඉරාන ජනපතිට උණුසුම් පිළිගැනීමක්



ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහාබාස් ෂරීෆ් ප්‍රමුඛ රජයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවිය.

ඉරාන ජනාධිපති රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ පෞද්ගලික හමුවක් පැවැත්විණි. ඉන්පසු ඉරාන ජනාධිපතිවරයා සමඟ පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායම සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ පාකිස්තාන රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. ඊට අමතරව, පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි සහ ඉරාන ජනාධිපති රයිසි අතරේ ද සාකච්ඡාවක් පැවැත්විණි.

ඉරානයත් පාකිස්තානයත් අසල්වැසි රටවල්ය. පසුගිය කාලයේ දෙරට හමුදාව එකිනෙකාට මිසයිල ප්‍රහාර එල්ල කර ගත්තේය. ඒ, දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. මෙම මිසයිල හුවමාරුව හේතුවෙන් ඉරානයත් පාකිස්තානයත් අතර හොඳහිත පළුදු වූ නමුත් සාකච්ඡා මාර්ගයෙන් එම අර්බුදය විසඳා ගැනීම සිදුවිය.

ඉරාන ජනාධිපති රයිසි, නියෝජිතයන් ද පිරිවරා ගනිමින් පාකිස්තානයට පැමිණියේ, ඉරාන පාකිස්තාන මිතුදම් තවත් ශක්තිමත් කිරීමේ අරමුණින්ය. කලාපීය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම දෙරටටම හිසරදයක් වුණු ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් ද ඉරාන නියෝජිතයන් සහ පාකිස්තාන රජයේ නියෝජිතන් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරාන ජනාධිපතිවරයා පාකිස්තානයේ නගර කීපයක සංචාරය කිරීමට නියමිතව සිටියේය. ඒ, ෂියා මුස්ලිම් ආගමික නායකයන් සහ ගුරුවරුන් හමුවීමටය. ඉරානය යනු ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. එම අර්බුදය සම්බන්ධයෙන් සහ පාකිස්තානය සමඟ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් ද ඉරාන ජනාධිපති රයිසිගේ අවධානය යොමු වී තිබුණු බව පැවැසෙයි.

ඉරාන ජනාධිපති රයිසි මෙසේ නිල විදෙස් සංචාරයක නියැලෙන්නේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර අර්බුදකාරී තත්ත්වයක් තිබියදීය. ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ආරම්භ වුණු අර්බුදය, ඉරාන ඊශ්‍රායල ගැටුමක් තෙක් දුරදිග ගියේ, පසුගිය අප්‍රේල් පළමු වැනිදා ඊශ්‍රායලය සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට පහර දීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය කළ පහර දීමට පලිගැනීමක් ලෙස ඉරානය, පසුගිය අප්‍රේල් 13 වැනිදා ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ඒ, ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ යුද්ධයක් හටගත්තොත්, එය ලෝක යුද්ධයක් තෙක් දුරදිග යනු ඇතැයි ලොව බොහෝ දෙනා බිය පළ කරන්න විය. කෙසේ නමුත් මේ වනවිට එම ‘යුද බිය’ පහව යමින් පවතින බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS