ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා:



මානව හිමිකම් උල්ලංඝනය කරමින්, යුද අපරාධ සිදු කරනවා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වන ඊශ්‍රායල හමුදා බලඇණියකට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව ජනාධිපති ජෝ බයිඩන් සූදානම් වෙයි.

ඇමෙරිකාවේ මෙම ක්‍රියා කලාපය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ මෙන්ම ඊශ්‍රායල හමුදාවේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී පවා ඇමෙරිකාව, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය දක්වන රාජ්‍යයකි. ඊශ්‍රායල හමුදාව ‘රිසි පරිදි’ ගාසා තීරයට පහර දෙන්නේ, එසේ පහර මදීට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි ඇමෙරිකාව පවසා ඇති බැවිනි.

මානව හිමිකම් උල්ලංඝනය කරමින්, යුද අපරාධ සිදු කරනවා යැයි චෝදනා එල්ල වී ඇත්තේ ඊශ්‍රායල හමුදාවේ ‘නෙට්සා යෙහුඩා’ නමැති බලඇණියටය.

‘නෙට්සා යෙහුඩා’ බලඇණියට එල්ල වන චෝදනා බරපතළ බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය පැහැදිලි කර තිබේ.
“ඇමෙරිකාව ඊශ්‍රායල හමුදාව ට කිසිදු ආකාරයකින් සම්බාධක පැනැවීමක් නොකළ යුතුයි. අපේ සෙබළුන් සටන් වදින්නේ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් සමඟ. ඊශ්‍රායල හමුදාවේ එක් බලඇණියකට සම්බාධක පැනැවීම මුළු ඊශ්‍රායල හමුදාවටම සම්බාධක පැනැවීමක් හා සමානයි” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සිය විරෝධය පළ කරමින් ඇමෙරිකාවට පෙන්වා දී තිබේ.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි. ගාසා තීරයේ යූනිස් ඛාන් නගරයේ වෛද්‍ය කඳවුරකින්, පලස්තීන වැසියන් 50 දෙනකුගේ සිරුරු සොයා ගැනීමට හැකිවුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසීය. මෙම පිරිස මියගොස් ඇත්තේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS