කටාර් එමීර්ගේ රහස් සාකච්ඡාව



කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මේ මස මුලදී තලේබාන් සංවිධානයේ උත්තරීතර නායකයා සමඟ ‌රහස් සාකච්ඡා පවත්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

තලේබාන් සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ගැටුම් පවතින අතර මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය හුදෙකලා වී තිබේ. මේ තත්ත්වය නවතා ජාත්‍යන්තර සමඟ කටයුතු කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකසා ගැනීම සඳහා මෙම සාකච්ඡා පවත්වා ඇතැයි ද තලේබාන් සංවිධානය ඊට උනන්දුවක් දක්වන්නේ යැයි ද මේ සාකච්ඡා සම්බන්ධයෙන් දැනුවත් ආරංචි මාර්ගයක් මගින් කියැවිණි.

කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි සහ තලේබාන් සංවිධානයේ වත්මන් උත්තරී නායකයා වන හයිබතුල්ලා අකුන්සාදා මෙම රහස් සාකච්ඡා පවත්වා ඇත. ඔවුන් දෙදෙනා මුණ ගැසී ඇත්තේ මැයි මස 12 වැනිදා ය. ඇෆ්ගනිස්තානයේ දකුණු දිගට පිහිටි නගරයක් වන කන්දහාර්හිදි මෙම සාකච්ඡා පවත්වා තිබේ. තලේබාන් සංවිධානයේ නායකයා විදේශීය නායකයකු සමඟ පැවැත්වූ පළමු සාකච්ඡාව මෙය යැයි ද පැවසේ.

ගැහැනු දරුවන්ට පාසල් යෑමට පනවා තිබෙන තහනම, කාන්තාවන්ට එක්සත් ජාතීන්ගේ කාර්යාංශ සහ මානුෂීය සංවිධාන යනාදියේ ඇතුළු රැකියා කිරීමට පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ද ඔවුන්ගේ ගමනාගමනයට ඇති නිදහස තහවුරු කිරීම තලේබාන් සංවිධානයේ නොවන අයට ඇෆ්ගන් පාලනයේ තනතුරු දැරීමට අවස්ථාව සැලසීම යනාදිය ඉටු කරන්නැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තරය තලේබාන් සංවිධානයෙන් ඉල්ලා ඇත.

මෙම සාකච්ඡාවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය හිමි වී ඇතැයි ද වාර්තා වේ. පහළ මට්ටමින් පැවැති සාකච්ඡා ඵලදායී හෝ සාර්ථක හෝ නොවුණු අතර ඒ නිසා ඒවා තවත් ඉහළට ඔසවා පනවා ඇති තහනම් ඉවත් කිරීමට තලේබාන් සංවිධානයට බල කිරීමත් ඇෆ්ගනිස්තානයට මානුෂීය සහාය ලබාදීමත් මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණු වී තිබේ. තලේබාන් සංවිධානයේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඇෆ්ගනිස්තානයට වෙනස්ම ආකාරයේ සීමා ගණනාවක් පනවා ඇත. මේ තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්තාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

ඇෆ්ගනිස්තානය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අතර ඒ අතරම දැඩි මානුෂීය අර්බුදයකට ද මුහුණ පා සිටියි. ඇෆ්ගනිස්තානයේ මිලියන ගණනාවක් කුසගින්නෙන් පීඩා විඳින අතර තවත් විශාල පිරිසකට රැකියා අහිමි වී තිබේ.

මේ සම්බන්ධයෙන් විමසූ විට ධවල මන්දිරය ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ වොෂින්ටනයේ කටාර් තානාපති කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් විමසුව ද ඊට ප්‍රතිචාරයක් නොලැබිණි. තලේබාන් සංවිධානය ද මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී ප්‍රතිචාර නොදැක්වීය. 

(රොයිටර්)


RECOMMEND POSTS