කේට් කුමරියට පිළිකාවක්



'රජකු වුණොත් ලෙඩෙක් වුණොත් වැඩක් නැහැ' යනුවෙන් කියමනක් ඇත. රජකුට පමණක් නොවෙයි, රජ කුමරිකට වුණත් එය එසේමය. තමන් පිළිකා රෝගියකු බව බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය, එසේත් නැතිනම් වේල්ස් කුමරිය කෙටි වීඩියෝවකින් පැවැසුවේ පසුගිය 22 වැනිදාය. ලෝකයේ රජ පවුල්  කීලයක් ඇති අතර, ඒවායින් වඩාත් ජනප්‍රිය රජ පවුල ලෙස, ලොකු කුඩා කවුරුත් හොදින් හදුනන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලය. බ්‍රිතාන්‍ය රජ පවුල සුපිරි තරු පවුලකට දෙවැනි නැත. ඔවුන් ඕපාදූප මැවීමේ හපනුන්ය. එසේ වුවත්, රජ පවුලේ සාමාජිකයන්, ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබද තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන්නේ ඉතාමත් කලාතුරකිනි. පසුගිය පෙබරවාරි 6 වැනිදා, කේට් ම්ඩිල්ටන් කුමරියගේ මාමණ්ඩිය, 75 හැවිරිදි, චාල්ස් රජු ද පිලිකා රෝගියකු බව ලොවට අනාවරණය කළේය. රජ පවුලට ආදරේ බ්‍රිතාන්‍ය වැසියන්ට පමණක් නොව, සෙසු ලෝකවාසින්ට මෙය කම්පනයක් විය. එම ආනාවරණයෙන් දින 16 ක් ගත වෙද්දී, කේට් කුමරිය සම්බන්ධ එම කනගාටුදායක පුවත අසන්න ලැබුණි.

පසුගිය දෙසැම්බරයේ, චාල්ස් රජු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය, රෝහල්ගත වූහ. දෙදෙනාටම සැත්කම් සිදු කෙරුණු බව රජ මාලිගාව පැවැසීය. පිළිකා සෛල වර්ධනයක් වී ඇති බව අනාවරණය වූයේ එම සැත්කම්වලින් පසුවය. කේට් කුමරියගේ සැත්කම බරපතල එකකි. සංකීර්ණ එකකි. එය උදරය ආශ්‍රිත සැත්කමකි. සැත්කමින් පසු කේට් කුමරිය රෝහලෙන් පිටවූවාය. ඇයට බොහෝ දෙනකු ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ අතර, කේට් කුමරියගේ සැමියා, චාල්ස් රජුගේ වැඩිමල් පුත්‍රයා, ඔටුන්න හිමි විලියම් කුමරු මාධ්‍ය හමුවේ කීවේ, සැත්කමින් පසු කේට් කුමරිය විවේක ගන්නා බවය. චාල්ස් රජු පිළිකා රෝගියකු බව අනාවරණය වූයේ මේ අතරේය. චාල්ස් රජුගේ පිළිකාව කුමන වර්ගයේ එකක්ද කියා හෝ කේට් කුමරියගේ පිළිකාව කුමන වර්ගයේ එකක්ද කියා හෝ විස්තර වාර්තා වී නැත. පසුගිය පෙබරවාරි 6 වැනිදා තමන් පිලිකා රෝගියකු බව අනාවරණය කළ අවස්ථාවේ සිටම චාල්ස් රජු වහා අදාල ප්‍රතිකාරවලට යොමු වී සිටියේය.

දෙසැම්බරයේ සිදු කළ එම සැත්කමින් පසු කේට් කුමරිය අතුරුදන් වූ බවට සමාජ මාධ්‍ය හරහා කසුකුසුවක් නිර්මාණය විය. 42 හැවිරිදි කේට් යහතින් සිටිනවා යැයි පවසමින් විලියම් කුමරු එක් අවස්ථාවක, කේට් කුමරිය සහ දරු තිදෙනා සමඟ සිටින ඡායාරූපයක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළ නමුත් එම ඡායාරූපය ව්‍යාජ එකක් බව මාධ්‍ය ආයතන පසුව තහවුරු කළේ ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලමිණි. එම ඡායාරූපය පරිගණකයෙන් සකස් කරන ලද්දක් බව පැවැසිණි. කේට් කුමරියගේ අතුරුදන් වීම පසුපස යම් සත්‍යයක් ඇතැයි වැඩි වැඩියෙන් කතාබහට ලක් විය. මේ අතර විලියම් කුමරු කේට් කුමරියගේ මිතුරියක වන රෝස් හැන්බරි සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට ද රාවයක් පැතිරිණි. රෝස් හැන්බරි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ තමන්ගේ සහ විලියම් කුමරුන්ගේ එවැනි සම්බන්ධයක් නැති බවය. කරුණු කාරණා මෙසේ සිදුවෙද්දී, කේට් කුමරිය රූපවාහිනියෙන් පෙනී සිටියාය. තමන් පිළිකා රෝගියකු බවත්, තමන් ශක්තියෙන් ධෛර්යයයෙන් පිළිකාව සමග සටන් කරන බවත් ඇය පැවැසුවාය.

‘‘සැත්කමින් පසු සුවය ලබමින් සිටිද්දී, මට ඉක්මන් සුව පතමින්, සහාය පළ කරමින් පණිවුඩ එවූ සැමට ස්තුති කරන්න කැමතියි. පසුගිය මාස කිහිපය මටත්, මගේ පවුලේ අයටත් ඉතාමත් දුෂ්කර මාස කීපයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මට ප්‍රතිකාර කළේ දක්ෂ වෛද්‍ය කණ්ඩායමක්. ඔවුන් මා වෙනුවෙන් කැපවුණා. මාව හොදින් බලා ගත්තා. මම ඔවුන්ට කෘතඥ වෙනවා. පසුගිය ජනවාරියේ, මම ලන්ඩනයේදී උදර ආශ්‍රිත, සංකීර්ණ සැත්කමකට මුහුණ දුන්නා. වෛද්‍යවරුන් එම අවස්ථාවේ සැත්කම සිදුකළේ පිළිකා තත්ත්වයක් නොමැති බව විශ්වාසයෙන්. සැත්කම සාර්ථක වුණා. ඒත් පසුව කළ පරීක්ෂණවලදී පිළිකා සෛල වර්ධනයක් වෛද්‍යවරුන්ට හමුවුණා. කීමෝ තෙරපි චිකිත්සාවකට මා යොමු විය යුතු බව ඔවුන් උපදෙස් දුන්නා. මා දැන් එම ප්‍රතිකාර ආරම්භ කරලයි තියෙන්නේ. මේක අප කාටත් කම්පනයක්. විලියම් සහ මම මේ කාරණාව පෞද්ගලිකව තබා ගන්න හුගක් උත්සාහ කළා. ඒ අපේ දරු පැටවු තිදෙනා වෙනුවෙන්.

සැත්කමින් සුවය ලබමින් සිටින අවස්ථාවකදී තමයි මම ප්‍රතිකාර සදහා යොමු වී සිටින්නේ. හැමදේටම කාලය අවශ්‍යයි. මගේ දරු පැටවු ජෝර්ජ්, චාලට් සහ ලුවීට මේ දේ පැහැදිලි කර දීමයි මට ලොකුම අභියෝගය වුණේ. මට හොදින් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම අසීරු කටයුත්තක් වුණා. මා ඔවුන්ට කී පරිදිම. මා හොදින් ඉන්නවා. දිනෙන් දින මා ශක්තිමත් වෙනවා. සුවය ලැබීමට අවශ්‍ය දේ ගැන මා අවධානය යොමු කර අවසන්. කායික වශයෙන් සහ මානසික වශයෙන් ඉක්මනින් සුව ලැබීමට මා සූදානම්. විලයම් මා ළග සිටීමත් මට ලොකු ශක්තියක්. සැනසිල්ලක්.

ඔබ බොහෝ දෙනා දක්වන ආදරය, සහයෝගය සහ කරුණාව මට ගොඩක් වටිනවා.  මම මගේ ප්‍රතිකාර සම්පූර්ණ කරන තුරු පවුලක් විදියට පෞද්ගලිකව ඒ කටයුතු කරගෙන යන්න අපට ඉඩ ලැබේවි මා විශ්වාස කරනවා. මම හිතනවා ඔබ කවුරුත් ඒක තේරම් ගනීවි. මම මට හිමි රාජකාරි බොහොම සතුටින් කළ කෙනෙක්. ඉක්මනින් සුවය ලබා මම යළි ඒ රාජකාරිවලට යොමු වෙනවා. ඒත් දැන් මම සම්පූර්ණ සුවය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒකට මට ඉඩ දෙන්න. මම හැමෝගෙන්ම ඉල්ලනවා. මේ වෙලාවේ මගේ සිහියට නැගෙන්නේ, පිළිකාවෙන් පීඩාවට පත් වූ සියලු දෙනාම ගැන. පිළිකා රෝගයට මුහුණ දෙන සෑ කෙනකුට මම කියන්න කැමතියි, ධෛර්යය නැති කරගන්න එපා. විශ්වාසය නැතිකර ගන්න එපා. බලාපොරොත්තුව නැති කරගන්න එපා. ඔබ තනි නැහැ..! ''

- වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන්

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS