බ්ලින්කන් ඉරාකයේ



දැඩි ආරක්ෂක රැකවල් මැද, බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවුණු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඉරාකයට ගොස්, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඞ් ෂියා අල් සුඩානී සමඟ සාකච්ඡා පැවැත්වීය.

ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, බ්ලින්කන්ගේ මෙම ඉරාක සංචාරය සම්බන්ධයෙන් ද පෙර දැනුම් දීමක් කර තිබුණේ නැත. ඊශ්‍රායල හමාස් ගැටුම, කලාපීය අර්බුදයක් තෙක් දුරදිග යෑමේ බියක් පවතින බැවින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ ඉරාක අග්‍රාමාත්‍යවරයා අතරේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉරාකයේ හමුදා කඳවුරු කීපයක ඇමෙරිකන් සොල්දාවෝ රැඳී සිටිති. ඊශ්‍රායාල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවද්දී, දේශසීමා හරහා යේමනයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් සටන්කාමීන්, ඇමෙරිකන් හමුදා කඳවුරුවලට පහර දීමට පටන් ගෙන තිබේ. හමාස් සටන්කාමීන්ට මෙන්ම යේමනය සටන්කාමීන්ට ඉරානයේ සහාය නොඅඩුව හිමිවෙයි.

ඊශ්‍රායල හමාස් අර්බුදයේදී ඇමෙරිකාව කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය දෙයි. මෙය ඉරානයේත්, හමාස් සටන්කාමීන්ට සහාය දක්වන ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුස්ල්ලා සංවිධානයේත් උදහසට හේතුවක් වී තිබේ.


RECOMMEND POSTS