යුක්රේන යුද්ධයට තුර්කිය මැදිහත් වෙයි



රුසියන් ජනාධිපතිවරණයෙන් සියයට 80 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනූ ව්ලැදිමීර් පුටින්ට සුබ පතමින්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැවැසුවේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් මැදිහත් වී කටයුතු කරන බවය.

තුර්කි ජනාධිපති එර්දොවාන්, රුසියන් ජනාධිපති පුටින්ට මෙසේ සුබ පැතුවේ, දුරකතන ඇමතුමක් ලබා දෙමිනි. තුර්කිය නේටෝ සාමාජිකයකු වන අතර, රුසියාව සමඟත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟත් යහපත් සබඳතා පවත්වන එකම නේටෝ රට තුර්කියයි. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී, පිහිටුවාගත් යුද සන්ධානයයි.

රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, යුද්ධය අවසන් කිරීමට, තුර්කි ජනාධිපති එර්දොවාන්, මීට පෙර ද කැමැත්ත පළ කර තිබේ. රුසියන් ප්‍රහාර හේතුවෙන්, යුක්රේනයට ඔවුන්ගේ ධාන්‍ය අපනයනය කර ගැනීමට නොහැකි වෙද්දී, ඊට මැදිහත් වී රුසියාව කැමැති කරවා ගනිමින් ධාන්‍ය අපනයනය සිදු කෙරුණේ තුර්කි ජනාධිපති එර්දොවාන්ගේ මැදිහත් වීමෙනි.

යුක්රේන අර්බුදයට මැදිහත් වීම සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති පුටින් තුර්කි ජනාධිපති එර්දොවාන්ට ස්තුති කිරීමට අමතක නොකළ බව ද ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS