අවි බිම තබන්න හමාස් කැමතියි



ඊශ්‍රායලය 1967 වසරේ පැවැති යුද්ධයෙන් අල්ලා ගත් ප්‍රදේශයන්හි පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට අවස්ථාව ලැබුණහොත් අවි බිම දමා දේශපාලන පක්ෂයක් බවට පත්වීමට හමාස් සංවිධානය සූදානම් යැයි එම සංවිධානයේ දේශපාලන අංශයේ ඉහළ නිලධාරියෙකු වන කලීල් අල් හේයා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

වසර අවුරුදු පහකට හෝ ඊට වැඩි කාලයක් සඳහා ඊශ්‍රායලය සමඟ සටන් විරාම ගිවිසුමකට එළඹීමටද හමාස් සංවිධානය කැමැත්තෙන් පසුවන බව අල් හේයා පැවැසුවේය.

නමුත් මෙම යෝජනාව ඊශ්‍රායල පිළිනොගන්නා ඇති බවත් 1967 වසරේ පැවැති යුද්ධයෙන් අල්ලා ගත් ප්‍රදේශයන්හි පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමේ අදහසට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තදින් විරුද්ධ බවත් ඇසෝසියේටඩ් ප්‍රෙස්  පුවත් සේවය වාර්තා කළේය.ප්‍රතිවාදී ෆටා කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් යුත් පලස්තීන විමුක්ති සංවිධානයට සම්බන්ධවීමට හමාස් සංවිධානය කැමැත්තෙන් පසුවන බවත් එලෙස සම්බන්ධ වී බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ඒකාබද්ධ රජයක් පිහිටුවීමේ බලාපොරොත්තුවෙන් හමාස් සංවිධානය සිටින බවත් කලීල් අල් හේයා ප්‍රකාශ කළේය.

බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පූර්ණ ස්වෛරී පලස්තීන රාජ්‍යයක් ඇතිවිය යුතු බවත් පලස්තීන සරණාගතයන් නැවත පලස්තීනය වෙත පැමිණිය යුතු බවත් අල් හේයා පැවැසුවේය.ස්වෛරී පලස්තීන රාජ්‍යයක් ඇතිවූ වහාම හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය විසිරුවා හරින බව අල් හේයා ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS