හමාස් ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල වැසියෝ 34 ක් මරුට



ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 130 දෙනාගෙන් 34 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි පැවැසෙයි. එසේ මියගිය 34 දෙනාගෙන් 12 දෙනකුගේ සිරුරු ඊශ්‍රායල හමුදාවට හමුවී ඇතැයි ඊශ්‍රායල රජය කියයි.

හමාස් ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ඩමින් නෙදන්යාහු ප්‍රමුඛ රජයට දොස් අහන්න සිදුවී ඇත. ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර දැවැන්ත විරෝධතා පවා පැවැත්වෙයි.

ප්‍රාණ ඇපකරුවන් මියගොස් ඇත්තේ, ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් යැයි හමාස් සංවිධානය පවසයි.

මේ වනවිට ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පලස්තීන සිවිල වැසියන් 33,207 දෙනකු මියගොස් ඇතැයි පැවැසෙයි. එයින් 14,520 දෙනකු කුඩා දරුවන්ය. ඊශ්‍රායල ප්‍රහාරවලින් බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලි සුන්බුන්වල සිරවුණු ගණන දහසකට වැඩිය.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 75,930 කි. එයින් 11,000 ක් දෙනා ඊජිප්තු රෆා දේශසීමාව ඔස්සේ ප්‍රතිකාර සඳහා ඊජිප්තුවට රැගෙන ගොස් ඇත. ගාසා පලස්තීන දරුවන්ගෙන් 17,000 කට මව පියා හෝ මව පියා දෙදෙනාම අහිමි වී ගොසිණි. 

හමාස් ඒජන්තවරුන් යැයි සැක කරමින්, ඊශ්‍රායල හමුදා සෙබළුන්, පල්සීත්න සෞඛ්‍ය අංශ සාමාජිකයන් 310 දෙනකු සහ පලස්තීන මාධ්‍යවේදීන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS