පාලමේ හැපුණු නැව



‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ ආරුක්කු පාලම, ඇමෙරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ, බොල්ටිමෝර් නුවර අභිමානයයි. මෙම වානේ පාලම ඉදිකිරීම ආරම්භ වූයේ වසර 52 කට පෙර, 1972 දීය. ඉදිකර අවසන් වී පාලම විවෘත කෙරුණේ මීට වසර 47 කට පෙර, 1977 මාර්තු 23 වැනිදාය. මෙම 2024 මාර්තු 23 වැනිදා ට පාලම විවෘත කර, වසර 47 ක් සපිරුණි. ඒ නිමිත්තෙන්, බොල්ටිමෝර් නගර බලධාරීහු විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්වූහ. පැටප්ස්කෝ ගංගාවට ඉහළින් පාලම ඉදි කෙරුණේ, බොල්ටිමෝර් වරායේ සිට මේරිලන්ඩ් ජනපදයට අයත් ඩන්ඩල්ක් පළාත යා කරමිණි. පැටැප්ස්කෝ ගංගාව, ඇමෙරිකාවේ විශාලතම මෝය වන චෙසපීක් බොක්ක වෙත ගලා බසී. මාර්ග අංක 695 වැටී තිබුණේ ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලම හරහාය. අඩි 8,636 ක් (මීටර් 2,632) දිග මෙම පාලම, ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ ලෙස නම් කෙරුණේ 19 වන සියවසේ මේරිලන්ඩ් ජනපදයේ  විසූ කවියකු වූ ෆ්‍රැන්සිස් ස්කොට් කී සිහි කරමිණි. දිනපතා උදේ සවස දස දහස් ගණනක් මෝටර් රථ ගමන් කරන ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලම, පසුගිය 26 වැනිදා කඩා වැටුණි. ඒ, අඩි 948 ක් දිග දැවැන්ත කන්ටේනර් නැවක් පාලමේ හැපීමෙනි.

සිංගප්පූරු ධජය යටතේ, ඉන්දීය ජාතිකයන් විසි දෙදෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද සමඟ බොල්ටිමෝර් වරායේ සිට යාත්‍රා කරමින් තිබූ ‘එම්.වී. ඩාලි’ කන්ටේනර් නැව, හැපුණේ පාලමේ ප්‍රධාන ආධාරක කුලුනුවලින් එකකය. ඒ සමඟ, දෙදරා ගිය පාලම ගඟට කඩා වැටුණි. පාලම කඩා වැටෙන එම දසුන් විදෙස් පුවත් ඔස්සේ දකින්න ලැබුණි. අපට ලොකු දෙයක් නොවුණත්, බොල්ටිමෝර් නුවර ‘අභිමානය’ කඩා වැටෙන අයුරු දුටු බොල්ටිමෝර් වැසියෝ මහත් සේ කම්පනයටත් ශෝකයටත් පත්වූහ. පාලම අහිමි වීම නිසා සිදුවුණු පාඩුව බොල්ටිමෝර් වැසියන්ට අතිමහත්ය. එය වචනයෙන් විස්තර කළ නොහැකිය.

කන්ටේනර් පටවා ගත්, ‘එම්.වී. ඩාලි’ නැව පාලමේ හැපුණේ, කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයට නැවේ පාලනය ගිලිහීමෙනි. “දෝෂයක් සිදුවුණා. නැවට බලය ලැබෙන්නේ නැහැ. නැව පාලනය කර ගන්න අපට බැහැ. නැව හරවන්න බැහැ” යනු පසුගිය 26 වැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් අලුයම 1 ට පමණ

‘ඩාලි’ නැවෙන් බොල්ටිමෝර් නගර බලධාරීන්ට ලැබුණු පණිවුඩයයි. ඒ, වනවිට කන්ටේනර් තොගයක් පටවාගත් ‘එම්.වී. ඩාලි’ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණි. නැව හැපී, ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලම කඩා වැටෙද්දී, ශ්‍රී ලංකාවේ නාමය ද ජාත්‍යන්තරයට ගියේය.

නැවෙන් එම පණිවුඩය ලැබුණු සැණින්, බොල්ටිමෝර් නගර බලධාරීහු ක්‍රියාත්මක වූහ. ඔවුහු පොලිසිය සමඟ එක් වී, ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලම දෙපැත්තෙන් වසා දමා, පාලම මත ගමන් කරන්න වූ (අලුයම කාලයේ නිසා පාලමේ ගමන් කරමින් තිබුණේ වාහන කීපයක් බව පැවැසෙයි.) වාහන වහා පාලම මතින් ඉවත් කිරීමට යුහුසුළු වූහ. මහා ජීවිත විනාශයක් වැළැකී ගියේ ඒ අනුවය. නැව හැපී පාලම කඩා වැටෙද්දී, පාලම මත ඉතිරි වූ මෝටර් රථ කීපයක් ගඟට වැටුණි. කිමිඳුම්කරුවන් 50 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් අටක් ගංගාව සෝදිසි කළහ. සෝනාර් සහ අධෝරක්ත කිරණ උපකරණ භාවිතයට ගනිමින්, ගඟට වැටී පතුලේ සැඟවී ගිය වාහන සෙවීම සිදුවිය. ගඟට වැටුණු දෙදෙනකු ගිනි නිවන හමුදාව, පොලිසිය සහ වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් බේරා ගත් අතර, එයින් එක් අයකුගේ තත්ත්වය බරපතළ යැයි වාර්තා විය.

නැව පාලමේ හැපෙද්දී, පාලමේ අලුත්වැඩියා කටයුත්තක් සිදුවෙමින් තිබුණි. රාත්‍රී සේවා මුරයට එක්වුණු කම්කරුවන් බොහෝ දෙනා විදෙස් කම්කරුවන්ය. ඔවුන් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ගෝතමාලාවෙන් මහ මෙක්සිකෝවෙන් ආ සංක්‍රමණික සේවයන්ය. පාලම කඩා වැටෙද්දී, කම්කරුවන් 6 දෙනකු ද ගංගාවට වැටුණි. ඔවුන් කිසිවකු හමුවූයේ නැත. වෙරළාරක්ෂක නිලධාරීන් පැවැසුවේ, අතුරුදන් වූ එම හය දෙනා මිය යන්න ඇතැයි තමන් විශ්වාස කරන බවය. නැවේ සිටි කිසිවකුට අනතුරක් සිදු වූයේ නැත. ‘ඩාලි’ නැව, ‘ග්‍රේස් ඕෂන්’ නමැති පෞද්ගලික සමාගමට අයත් එකකි. මෙය නියෝපැනැපැක්ස් වර්ගයේ කන්ටේනර් ප්‍රවාහන නැවකි. දිග මීටර් 299 කි. (අඩි 984 කි.)  පාලමේ ගැටී නතර වුණු නැවට ද බරපතළ හානි සිදුවිය.

නැවෙන් ඩීසල් කාන්දු වෙමින් පවතින බව බොල්ටිමෝර් බලධාරීන් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පැවැසීය. නැවේ ඇති ඩීසල් ප්‍රමාණය මිලියන 1.8 කි. ඩීසල් කාන්දුවක් සිදුවහොත් එය විශාල පාරිසරික අර්බුදයක් නිර්මාණය කරනු ඇතැයි පරිසරවේදීන් බිය පළ කළහ. පාලමේ හැපීමෙන් පසු ‘ඩාලි’ නැවේ අසුරා තිබුණි කන්ටේනර් පෙට්ටි 13 කට ද හානි විය. නැව ප්‍රවාහනය කරමින් තිබුණේ මොනවාද? එය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ මොනවා රැගෙනද? මේ සම්බන්ධයෙන් හරිහැටි කිසිවක් වාර්තා වී නැත. කෙසේ නමුත්, අනතුර සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සී.එන්.එන් පුවත් සේවය කළ අනාවරණයකට අනුව, ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය, නැවේ ඇති හානි වුණු කන්ටේනර් ගැන විශේෂ උනන්දුවක් දක්වා තිබේ. ඒ, එම කන්ටේනර් පෙට්ටි තුළ සෞඛ්‍යයට අහිතකර, හානිකර දේවල් අඩංගු බව පවසමිණි.


RECOMMEND POSTS