ලැප්ටොප් මිලදී ගන්න කලින් ...



ලැප්ටොප් මිලදී ගැනීමේදී වෙළඳ දැන්වීම්වල මවාපාන සුරංගනා කතා නිසා අපට නිවැරදිම තේරීම කිරීමට විවිධ අපහසුතා ඇති විය හැකිය. එසේ වුවත්, ඔබගේ අවශ්‍යතා නිවැරදිව ගොනු කර ගනිමින්, ඔබගේ තෝරා ගැනීම වඩාත් උචිත ලෙස සිදු කළ හැකිය.

මෙම ලිපියෙන්, ලැප්ටොප් එකක තිබිය යුතු ගුණාංග සහ ලැප්ටොප්  එකක් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ  යුතු දෑ පිළිබඳ අවබෝධයක් ලබාදීම සිදු කරනු ලැබේ. 

ලැප්ටොප් පරිගණකයේ ප්‍රමාණය පිළිබද සැලකිලිමත් වීමේදී ඔබ නිතර ගමන් බිමන් යන කෙනකු නම් බෑගයේ ඉතා පහසුවෙන් ගෙන යා හැකි සහ උකුල මත පහසුවෙන් තබාගෙන පාවිච්චි කළ හැකි ප්‍රමාණයෙන් තෝරාගත යුතුය.

ප්‍රමාණය කුඩා වනවිට ඔබට ලැබෙන තිරයේ ඉඩකඩද අඩුවන බැවින් ඔබ චිත්‍රපට නරඹන කෙනකු හෝ ග්‍රැපික් ඩිසයින් කරන කෙනකු නම් ඔබට ඒ අත්දැකීමට බාධාවක් විය හැකියි.

සියල්ලටම ගැලපෙන ලෙස විශාලත්වය අඟල් 12.5 සිට 13.3 පමණ වූ සහ බර කිලෝ ග්‍රෑම් 1 සිට 1.5 දක්වා වූ ලැප්ටොප් නිර්දේශ කළ හැකි අතර Ultrabookලෙස දක්වන සියලුම ලැප්ටොප් තුනී බවින් සහ බරින් ද අඩු නිසා රැගෙන යාමට ඉතා පහසු වේ.

තිරයේ ගුණාත්මක භාවය පිළිබඳ සලකා බැලීමේදී ලැප්ටොප් එකක ප්‍රධානම අංගය වන්නේ මෙයයි. CPU, GPU, RAM කෙතරම් තිබුනත් ස්ක්‍රීන් එක නිස ලෙස නොතිබුනොත් ඉන් ඵලක් නැති වී යයි. වර්තමානයේදී ටච් කිරීමට හැකි ලැප්ටොප් ස්ක්‍රීන් දැකගත හැකියි. වඩාත් ඔප දමන ලද තිරයක් තිබීමෙන් එළිමහනකදී හෝ පිටුපසින් විශාල ලෙස ආලෝකයක් ඇති ස්ථානයක සිට වැඩ කිරීමේදී තිරය නොපෙනී පසුපස ඇති දේවල් පරාවර්තනය වී තිරය බැලීමට අපහසු වෙයි.

එනිසා නිතරම එළිමහනේ හෝ වැඩි ආලෝකයක් සහිත කාමරවල වැඩ කරන්නේ නම් ස්ක්‍රීන් එක සඳහා රළු මතුපිටක් ඇති තිරයක් උචිත වේ. තවද Full HD තිරයක් තිබීමෙන් ඉතා පැහැදිලි රූප රාමු බලාගැනීමට හැකි වේ. විවිධ කෝණ ප්‍රමාණයකින් බැලීමේදීත් තිරයේ වර්ණ වෙනස් නොවී එකම ආකාරයෙන් පෙනීමට IPS තිර සහිත එකක් තෝරාගත යුතුයි.

කී බෝර්ඩ් එක සහ ටච් පෑඩ් එක පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔබ ටයිප් කරන වැඩ හෝ පරිගණක ක්‍රීඩාවල නිරත වෙනවා නම් ටයිප් කිරීමේදී අකුරු දෙකක් අතර ඇති ඉඩ පරතරය අවම වුවහොත් එය ටයිප් කිරීමට අපහසු වෙයි.

Keys එබීමේදී යෙදිය යුතු බලය අවම වන තරම භාවිතයට සුදුසුවන අතර අඳුරේදී කීබෝර්ඩ් එක දැකගත හැකිවන පරිදි ලයිට් සවිකර ඇත්නම් එයද වැදගත් වේ. ටච්පෑඩ් එක සංවේදී වන තරමට ඉතා සුමටව කර්සර් එක පාලනය කළ හැකිය.

ක්‍රියාකාරී හැකියාවන් වෙත අවධානය යොමු කිරීමේදී ලැප්ටොප් එක භාවිතා කරන්නට අවශ්‍ය හේතුව මත එහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය CPU, RAM, GPU සහ Storage තීරණය වනු ලබයි. සාමාන්‍ය භාවිතය සඳහා Core i5, 4GB හෝ 8GB RAM සහ 500GB ගබඩා ධාරිතාවයක් ප්‍රමාණවත් වන අතර Photo Editor හෝ පරිගණක ක්‍රීඩා කිරීමට නම් 2GB පමණ වූ CPU එකක් තිබීම ප්‍රමාණවත් වේ. Core i7 පරිගණකවල ද බැටරිය මෙන් ද හැකියාවන්ද වැඩි අතර ඒවා බරසාර ලෙස ග්‍රැෆික් සහ වීඩියෝ එඩිට් කිරීම සඳහා මෙන්ම පරිගණක ක්‍රීඩා සඳහා ද උචිත වේ. 

බැටරිය පිළිබඳ සැලකිලිමත් වීමේදී විදුලි බිඳවැටීමකදී වුවත් පැය 4 ක් 5 ක් ලැප්ටොප් එක ඔන් එකේ තබාගත හැකි නම් ප්‍රමාණවත් වේ.

විලාසිතාව , පෙනුම, කල්පැවැත්ම මෙන්ම තාපය පහසුවෙන් ඉවතලන ආකාරයට නිමැවී තිබිය යුතුයි. USB port, VGA/ HDMI port තිබෙන ස්ථාන, ප්‍රමාණ සහ කිහිපයක් එකවර භාවිත කිරීමට හැකි වීම පිළිබදව අවධානය යොමු කල යුතුයි. USB පොට් ලැප්ටොප් එක පිටුපසින් පිහිටීම භාවිතයට අපහසු වන අතර ඒවා දෙපසින් පිහිටීම පහසු වේ.

මේ සියලු පහසුකම් සහිත වී ඔබගේ අතේ මුදලට සරිලන්නේ නැතිනම් ගෙවීමේ පහසු ක්‍රමයකට හෝ ක්‍රෙඩිට් කාඩ් යොදාගනිමින් හෝ මුදලට වඩා අවශ්‍යතාවය මත පදනම්ව ඔබ තෘප්තිමත් වන ආකාරයේ ලැප්ටොප් පරිගණකයක් මිළදී ගැනීම වඩාත් උචිත වේ.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS