ඩුබායි යට කළ මහ වැස්ස



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නැගෙනහිර සහ බටහිර ලෝකය යා කරන පාලමක් වැනිය. නැගෙනහිර හෝ බටහිර රටවලින් පැමිණෙන ගුවන් මගීහු ඩුබායි ගුවන් තොටුපොළෙන් වෙනත් ගුවන් යානාවලට මාරු වී ඔවුන්ගේ ගමනාන්ත කරා යති. එහෙයින්, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෝකයේ කාර්යබහුල ගුවන්තොටුපොළවලින් එකකි. ඩුබායි ගුවන්තොටුපොළ කාර්යබහුල ගුවන් තොටුපොළක් ලෙස සැලකෙන්නේ වැඩිම ජාත්‍යන්තර මගීන් පිරිසක් මෙම ගුවන් තොටුපොළ භාවිත කරන බැවිනි. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත වී වසර 60 කට වැඩිය. මගීගමනාගමනයඅනුව,

ලොව දෙවන කාර්යබහුලමගුවන්තොටුපළවන්නේ ද මෙයයි. වැඩිම, ‘එයාර් බස් ඒ 380’ මගී ගුවන් යානා මෙන්ම ‘බෝයිං 777’ වර්ගයේ මගී ගුවන් යානා යන එන ගුවන් තොටුපොළක් වන්නේ ද මෙයයි. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇත්තේ, අල් ගර්හවුද් දිස්ත්‍රික්කයේය. ඩුබායි ගුවන් තොටුපොළ අංක දෙක මගී පර්යන්තය සම්පූර්ණයෙන් වෙන් වී ඇත්තේ එමිරේට්ස් රජයේ නිල ගුවන් සේවය වන‘ෆලයි ඩුබායි’ වෙනුවෙනි. පසුගිය 16 වැනිදා සහ 17 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අකර්මර්ණය වූයේ ඩුබායි පැමිණෙන, ඩුබායිවලින් පිටවන, ඩුබායිවලින් වෙනත් ගුවන් යානාවලට මාරුවන ලක්ෂ ගණනකට යනඑන මං නැති කරමිණි. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අකර්මර්ණය වූයේ එය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙනි.

එක්සත් අරාබි එමිරේට්ස් යනු බටහිර ආසියාවේ කෙළවර පිහිටි මැදපෙරදිග රාජයයකි. වෙන වෙනම පාලනයක් ඇති, පාලන ප්‍රදේශ හතක් එක්වීමෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පිහිටුවා තිබේ. අබුඩාබි, අජ්මාන්, ඩුබායි, ෆුජරියා, රාස් අල් කයිමාහ්, සාජා, උම් අල් කුවායින් යනු එම පාලන ප්‍රදේශයන්ය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පර්සියානු බොක්ක හරහා කටාර් රාජ්‍යයටත් ඉරානයටත් මායම් වෙයි. ප්‍රධාන නගරයක් වන ඩුබායි, කාන්තාර නගරයකි. කාන්තාර නගරයක් කී සැණින් සිහියට එන්නේ කර්කෂ වියලි තැනකි. ඒත් ඩුබායි එසේ නොවෙයි, ඩුබායි යනු අති නවීන සියලු දෙයින් පිරුණු සුරපුරයකි. සාමාන්‍යයෙන්ඩුබායිනගරයටවසරකටලැබෙන්නේ අඟල් 3.12කවර්ෂාපතනයකි.ඩුබායි නගරයට වර්ෂාපතනයක් ලැබෙන්නේ ද වසරකට දිනයක් හෝ දෙකක් පමණි. එහෙයින් වැහි ජලය බැස යෑමට විශේෂයෙන් සැකැසූ කානු පද්ධති නගරයේ ඩුබායි නගරයේ නැත.පසුගිය 16 වැනිදා අහස ගුගුම් දී කළු පැහැයට හැරී,‍ තද සුළං ද සමඟ නොකඩවා ඇද හැලුණු මහ වැස්ස පැය 24 ක් ඇතුළත, ඩුබායි යට කළේ ඩුබායි වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු කරමිණි.

මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ 16 වැනිදා එමිරේට්ස් වේලාවෙන් උදෑසන 9 ට පමණි. ඩුබායි කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, පැය 24 ක් ඇතුළත අගල් 5.59 ක දැඩි වර්ෂාපතනයක් ලැබුණු බවය. ඒ අනුව, වසර එකහමාරක් තිස්සේ ලැබෙන වර්ෂාපතනය පැය කීපයක් ඇතුළත ඩුබායි නගරයට ලැබී තිබුණි. එමිරේට්ස් රාජ්‍යයට මෙසේ මහවැසිඇදහැලුණේවසර 75 කට පසුව යැයි විදෙස් මාධ්‍ය අවධාරණය කළේය.වැහි ජලය බැස යෑමට සැකැසූ කානු පද්ධති නොමැති බැවින්, වීදි යටවිය. වාහන තදබදය පැය ගණනක් දිගු විය. මෝටර් රථ ද ජලයෙන් යටවිය. බොහෝ දෙනෙක්, මෝටර් රථවල කොටුවී අසරණ වූහ. ඔවුන්ට රැය පහන් කරන්න වූයේ ද මෝටර් රථ තුළය. නිවාස සහ ගොඩනැගිලි ද ජලයෙන් යටවී ගියේය. තමන්ට අනතුරක් නම්, වහා ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි බලධාරීන් උපදෙස් දී තිබුණු අතර, විපතට පත්වූවන්ට සහාය දීමට හමුදාව යෙදවිණි. මහ වැසිවලින් සහ හදිසියේ හටගත් ජලගැලීම්වලින් දැඩි හානි සිදුවූයේ උතුරු දෙසින් පිිහිටි ඇෂ් ෂර්කියා පළාතටය. ආසියා ශූරතා පා පන්දු තරගාවලියේ අවසාන තරගයක් එමිරේට්ස් අල් අයින් පාපන්දු කණ්ඩායම සහ සෞදියේ අල් හිලාල් පාපන්දු කණ්ඩායම අතරේ පැවැත්වීමට නියමිතව තිබුණු අතර, අයහපත් කාලගුණය හේතුවෙන් එය අවලංගු විය.

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්පථ පමණක් නොව, මගී පර්යන්ත ජලයෙන් යටවිය. ගුවන් යානා ජලයෙන් යටවුණු ගුවන් පථවල ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. ගුවන්තොටුපොළ කටයුතු අඩපණ වුණා. ගුවන්තොටුපොළ පැය කීපයකට වසා දැමෙනවා. අත්‍යාවශ්‍ය කරුණකට හැර ගුවන් තොටුපොළට එන්න එපා යැයි ඩුබායි ගුවන් ගමන් පාලන අධිකාරිය ගුවන් මගීන් ට අනතුරු ඇඟවීමක්දකළේය.ගුවන් යානාවලට ගුවන් තොටුපොළෙන් පිටවීමට නොහැකි වූවා සේම, ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානාවලට ගුවන්තොටුපොළට ගොඩබෑමට නොහැකි විය. 16 වැනිදා ගුවන් මගීන්ගෙන් මගී පර්යන්ත පිරී තිබුණු අතර, දහස් ගණනක් දෙනා ඒ වනවිටත්, වර්ෂාවත් සමඟ ගුවන්තොටුපොළේ කොටු වී සිටියහ.එම පිරිස් මගී පර්යන්තයේ ආසනවල සහ බිම නිදා සිටිනු ද විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි.

ගුවන් ඩුබායි බලා පැමිණෙන ගුවන් යානා සියල්ල වෙනත් ගුවන් තොටුපොළ වෙත හරහා යැවීමට බලධාරීහු පියවර ගත්හ. අතරමංවුණු මගීන්ට එම ගුවන් තොටුපොළවල සිට ඩුබායි හි ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑමට බස්රථ ලබාදීමටත් ‘ෆලයි ඩුබායි’ ගුවන් සේවයේ පියවර ගත්තේය. ඩුබායි ගුවන් තොටුපොළට පැමිණීමට නියමිත මගී යානා බොහොමයක්, අයහපත් කාලගුණය හේතුවෙන් පැය 5 කට ආසන්න කාලයක් උඩු ගුවනේ පියාසර කරමින් සිට,පසුව වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවුණි. ගුවන් යානා බොහොමයක් හරවා යැවුණේ ජෙබෙල්අලි ගුවන් තොටුපොළටය. ජෙබෙල්අලි ගුවන්තොටුපොළට ගිය මගීන් බොහෝ දෙනකුට අකරතැබ්බ රැසකට මුහුණ දීමට සිදුවිය. ඒ, බස් ඍථ පැමිණෙන තුරු පැය ගණනක් ඔවුන්ට එම ගුවන්තොටුපොළේ රැඳී සිටීමට සිදුවීමය. ජෙබෙල් අලි ගුවන්තොටුපොළේ දී මගීන්ට ආහාර ලබාදීමට කටයුතු කළත්, ප්‍රමාණවත් ලෙස ආහාර බෙදාදීම සිදුනොවුණු බැවින්, මගීහු තවත් අපහසුතාවට පත්වූහ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට මහවැසිඇදහැලීමටපෙර, අයපත් කාලගුණයෙන් බැට කෑවේ ඕමානයයි. ඒ, පසුගිය සති අන්තයේය. නොකඩවා ඇදහැලුණු මහ වැසි හේතුවෙන්, එමිරේට්ස් රාජ්‍යයේ මෙන්ම, ඕමානයේ ද ආපදා තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. ඕමාන හදිසි ආපදා කළමනාකරණ ජාතික කමිටුව, පැවැසුවේ ජලගැලීම් හේතුවෙන් විපතට පත්වුණු ඕමාන වැසියන් මුදාගැනීමේ කටයුතු දිගටම සිදුවන බවත්, මහවැසි ඊට බාධා වුණු බවත්ය. අයහපත් කාලගුණය හේතුවෙන් ඕමානයෙන් මරණ 18 ක් වාර්තා විය. එමිරේට්ස් රාජ්‍යයෙන් වාර්තා වූයේ එක් මරණයක් පමණි. ඕමානයේ සමාද් අෂාන් ප්‍රදේශයේ පාසල් දරුවන් ගමන් කරමින් සිටි බස්රියක් ද හදිසියේ හටගත් ජලගැලීම්වලට හසුවී ගසාගෙන ගියේය. බස්රියේ සිටි කුඩා දරුවන් නව දෙනකු සහ රියදුරා ජීවිතක්ෂයට පත්විය. එය ඉතාමත් කනගාටුදායක, හදවත කම්පා කරන සිද්ධියකි. ඕමානයේමුසන්දාම්, අල්බුරයිමී, අල්දහිරාහ් සහ අල්දකිල්යා යන ප්‍රදේශවලට මහ වැස්සෙන් බලපෑම් එල්ල විය. නිවසේසිටවැඩකරන්නැයි රජයේ සේවකයන්ට රජය අවසර ලැබුණි. පාසල් සහ රජයේ ආයතන දැමුණි.පෞද්ගලික අංශයට ද නිවාඩු හිමි විය. නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලැබුණි. බහරේනයටත්, කටාර් රාජ්‍යයටත්, සෞදි අරාබියටත් මහ වැසි ඇද හැලුණු නමුත්, එමිරේට්ස් රාජ්‍යයට හෝ ඕමානයට තරම් ආපදා තත්ත්වයක් නිර්මාණය නොවිණි.

ඕමානයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අනපේක්ෂිත ආකාරයට පැය කීපයක් ඇතුළත මහ වැසි ඇද හැලීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් නොයෙක් අදහස් ඉදිරිපත් කර තිබේ. වර්ෂාව අඩු බැවින් මැද පෙරදිග රටවල් කෘත්‍රිම වැසි (ඉංග්‍රීසියෙන් මෙය හැඳින්වෙන්නේ ක්ලවුඩ් සීඩිං යනුවෙනි) ඇති කරයි. ඒ, ගුවන් යානා යොදා ගනිමින් ඉහළ වායු​ ගෝලයේ වලාකුළුවලට රසායනික ද්‍රව්‍ය ඉසීමෙනි. එසේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලියේ අනිසි ප්‍රතිඵලයක් ලෙස ඕමානයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දරා ගත නොහැකි ආකාරයට මහ වැසි ඇද හැලුණු බව විද්‍යාඥයන්ගේ අදහස වී ඇත. මීට අමතරව, ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වෙයි. ඕමානයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇද හැලුණු මහ වැස්ස ද එවැනි විපරිත කාලගුණ තත්ත්වයක් විය හැකි යැයි ද පැවැසෙයි.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS