ඇඳන් නැහැ



මාරාන්තික කොරෝනා වයිරසය ආසාදනය වූවන් සඳහා ප්‍රමාණවත් තරම් ඇඳන් නැතැයි චීනය ප්‍රකාශ කරයි.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන අතර වයිරසයෙන් මියගිය ගණන 563ක් දක්වා ඉහළ ගොස් ඇත.

මුඛ ආවරණ සහ වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින බව චීනය මීට පෙර ප්‍රකාශ කළේය. ජපානය සහ දකුණු කොරියාව ඇතුළු අසල්වැසි රටවල් සහ ලෝක බලවතුන් චීනයට උපකාර කිරීමට ඉදිරිපත් වූ අතර යුරෝපා සංගමය ද ඊට එක්ව තිබිණි.

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනය වූහාන් නගරයේ පමණක් නව රෝහල් දෙකක් ඉදි කළ අතර තවත් ස්ථානවල නව රෝහල් ඉදි කරමින් සිටින බව ද වාර්තා විය. නව රෝහල් දෙක සතු සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාව 2,600කි.

වූහාන් නගරයේ ජනගහනය මිලියන 11කි. රෝහල් 28කට රෝගීන් 8,182ක් ඇතුළත් කළ බවත් මෙම රෝහල් සතු සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාව 8,254ක් බවත් වූහාන් නගරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන හු ලිෂාන් පැවැසීය. මේ තත්ත්වය නිසා දැඩි ඇඳන් හිඟයක් තිබෙන බවත් ඊට අමතරව වෛද්‍ය උපකරණවල හිඟයක් තිබෙන බව ද හෙතෙම කීය.

වෛද්‍ය උපකරණ, ඖෂධ යනාදිය අඛණ්ඩව සැපයීම සඳහා චීන රජය සැපයුම්කරුවන්ට සහ නිෂ්පාදකයන්ට බදු සහන ද ලබා දී ඇත.

“අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ, බෙහෙත් යනාදිය අඛණ්ඩව ලබාදීමට අපි සියලු පියවර ගන්නවා. ඒ වගේම හුබෙයි පළාතට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නිලධාරීන් යැවීමටත් පියවර ගන්නවා” යැයි චීන අග්‍රාමාත්‍ය ලී කෙචියන්ග් පැවැසීය.

බීජිංහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS