හතු කතා කරනවා



හතු එකිනෙකා සමඟ කතා කරනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්ද? ඔව්. වෙන්න පුළුවන්. හතු කතා කරනවා යනුවෙන් අදහස් කරන්නේ වචනවලින් ශබ්දවලින් කතා කිරීමක් නොවෙයි. අදහස් හුවමාරු කර ගැනීමක්. සන්නිවේදනය ක්‍රියාවලියක්. හතු එකිනෙකා අතරේ පණිවුඩ හුවමාරු කර ගන්නේ ඔවුන්ටම ආවේණික ක්‍රමයකටය.

හතු එකිනෙකා සමඟ කතා කරන්නේ එසේත් නැතිනම් ‘චැට්’ කරන්නේ, ඔවුන්ට පමණක් ආවේණික වූ භාෂාවකිනි. හතුවලට ආවේණික වූ වාග්මාලාවක් නැතිනම් වචන මාලාවක් ද ඇත. ඊට අඩංගු වචන ගණන 50 කට වැඩි යැයි හතු පිළිබඳ විශේෂඥයෝ පැහැදිලි කරති. හතු එකිනෙකා සමඟ කතා කරනවා නම්, කතා කරන්නේ මොනවාද ගැනද? විද්‍යාඥයන්ට අනුව හතු කතා කරන්නේ කාලගුණය ගැන සහ හතුවලට එල්ල වන සතුරු තර්ජන ගැනය.

විද්‍යාඥයන් මේ බව අනාවරණය කරගෙන තිබෙන්නේ එකිනෙකට වෙනස් හතු විශේෂ කීපයක් පුළුල් ලෙස අධ්‍යයනය කරමින් ඒවායේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය හඳුනා ගනිමිනි. විද්‍යුත් ක්‍රියාකාරීත්වය ඉහළ අගයක් ගන්නේ, හතු එකිනෙකා සමඟ කතා කරද්දීය. හතු එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙන්නේ ඒවායේ මූපල පද්ධතිය හරහාය. මයිසීලියම් Mycelium යනුවෙන් හැඳින්වෙන මෙම මූල පද්ධති හරහා හතු එකිනෙකා සමඟ සම්බන්ධ වෙයි.

හතු කතා කරන බව ලොවට අනාවරණය කළ විද්‍යාඥයකු වන්නේ බටහිර එංගලන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෲ ඇඩමැට්ස්කී ය. සාමාන්‍යයෙන් හතු භාවිතයට ගන්නා එක් වචනයකට සාමාන්‍ය වශයෙන් අක්ෂර 5.97 ක් ඇතුළත් බව මහාචාර්යතුමා පවසයි. ඒ අනුව, හතු භාවිත කරන භාෂාව, ඉංග්‍රීසි භාෂාවට වඩා සංකීර්ණය. ඉංග්‍රීසි වචනයකට සාමාන්‍යයෙන් ඇති ඉංග්‍රීසි අකුරුවල සාමාන්‍යය 4.8 කි. කෙසේ නමුත් ‘හතු භාෂාව’ රුසියානු භාෂාවට වඩා සරලය. රුසියානු භාෂාවේ වචනයක අකුරුව සාමාන්‍යය 6 කි. මෙම අනාවරණයෙන් පැහැදිලි වන්නේ හතුවලට සිතන්න පුළුවන් බවය. හතුවලට සංජනන හැකියාවක් ඇත.

හතු එසේත් නැතිනම් බිම්මල් යනු සතකු හෝ ශාකයක් හෝ නොවෙයි. හතු යනු පුස් එසේත් නැතිනම් දිලීරයකි. විකිපීඩියා වෙබ් අඩවියට අනුව, දිලීර විශේෂ මගින් තම වර්ගයා බෝකිරීම සඳහා අවශ්‍යවන බීජාණු නිපදවන මල් වැනි විශේෂ ව්‍යුහය හතු නම් වෙයි. පොළවෙන් හට ගන්නා මල් වැනි පෙනුමක් ඇති නිසා මේවාට බිම්මල් කියයි. මෙම දිලිරයන්ට හරිතප්‍රද නොමැති බැවින් ස්වාධීනව ආහාර නිපදවාගත නොහැකිය. කොළ පැහැති වර්ණයක් හතුවලට නැත්තේ ද ඒ නිසාය.

විද්‍යාත්මකව පැහැදිලි කරනවා නම්, හතු බවට පත් වන දිලීර, මළ දේහමත වැඩෙන මෘතෝපජීවී කාණ්ඩයට අයත් වෙයි. විශේෂයෙන් මළ ශාක අවට බිම්මල් දැකිය හැකිය. මීට වසර දහස් ගණනකට පෙර සිටම මිනිසා හතු ආහාරයට ගෙන තිබේ. ආහාරයට ගතහැකි හතු විශේෂ හා ආහාරයට නොගතහැකි විෂ හතු ද ඇත. ඇතැම් හතු උග්‍ර විෂ සහිත වන අතර ආහාරයට ගැනීමෙන් සිහි විකල්වෙයි. මරණයට පත්වෙයි. ආහාරයට ගත හැකි ඇතැම් බිම්මල් විශේෂ වර්තමානයේ වානිජ වශයෙන් වගා කෙරේ.

දිලීර බොහෝ ප්‍රමාණයක් පියවි ඇසට නොපෙනුන ද, බිම්මල් පියවි ඇසින් දැකිය හැකිය. ඒ අනුව අන්වීක්ෂයක් නොමැතිව දැකිය හැකි දිලීරයක් ලෙස ද බිම්මල් හැඳින්විය හැක. බිම්මල්වල ප්‍රධාන කාර්යය බීජානු නිපදවා තම වර්ගයා ඉදිරියට ගෙන යාමයි. විද්‍යාඥයන්ට අනුව වර්ධනය වූ බිම්මලක් ප්‍රධාන කොටස් 5 කි. යුක්තවේ. වට රැල්ල, හතු දණ්ඩ, වලය, ජත්‍රය සහ නැලි යනු එම ප්‍රධාන කොටස් 5 ය.

ගුණය සහ ලෙඩ සුවකිරීමේ හැකියාව නිසා චීනය, ජපානය කොරියාව වැනි රටවල්වල බිම්මල් වැඩි වැඩියෙන් භාවිතයට ගැනෙයි. අප ශ්‍රී ලංකාවේ ද ඉතා ඈත අතීතයේ සිටම ස්වාභාවික බිම්මල් මිනිසාගේ ආහාරයක් ලෙස යොදා ගෙන තිබේ. වාණිජමය වශයෙන් බිම්මල් වගාකිරීම ලංකාවේ ආරම්භ කර ඇත්තේ 1985 වසරේ පමණ යැයි පැවැසෙයි. වර්තමානයේදී බිම්මල් සඳහා දේශීය සහ අන්තර් ජාතික වෙළෙඳ‍පොළ් අධික ඉල්ලුමක් පවතී. වර්ධනය වූ බිම්මලක, ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක රාශියක් අඩංගු වේ. බිම්මල් ග්‍රෑම් 100ක ග්‍රෑම් 89.18 ක්ම ඇත්තේ ජලයයි. එහි ශක්තිය කිලෝ කැලරි 33ක් පමණ ඇත. එමනිසා මෙය ශක්තිය අඩු ආහාරයක් නිසා බර වැඩි සහ ස්ථුල පුද්ගලයන් සඳහා ඉතා යෝග්‍ය යැයි වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.

ද සන් ඇසුරිනි


RECOMMEND POSTS