ලෝක යුද්ධයක් ගැන බියක්



ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු ඉරාන ඊශ්‍රායල අර්බුදය උත්සන්න වී, එය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග යෑමට ඉඩ ඇතැයි බියක් හටගෙන ඇත.

ඉරාන ඊශ්‍රායල අර්බුදය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග ගියහොත් එය න්‍යෂ්ටික යුද්ධයකට පෙරළී, අවසානයේ එය ලෝකය ද අවසන් කරමින් යැයි ඇතැම් විදෙස් විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ.

ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ඇති බැවින්, ඉරානය, ඊශ්‍රායලය ගැටුම තෙවැනි ලෝක යුද්ධය තෙක් දුර දිග ගියහොත්, ඊශ්‍රායලයට බටහිර බල කඳවුර වන ඇමෙරිකාව සහ සෙසු ‘නේටෝ’ සාමාජික රටවල සහාය හිමිවනු ඇත. ඉරානයට, ඇමෙරිකා විරෝධීන් වන රුසියාව, සිරියාව, චීනය, යේමනය පමණක් නොව උතුරු කොරියාවේ ද සහාය සෘජුව හෝ වක්‍රව හිමිවනු ඇත.

ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු සිය කනස්සල්ල පළ කර ඇති අතර, කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පේට්‍රෝ ඇමෙරිකාවට චෝදනා නගා ඇත්තේ, ඉරාන සහ ඊශ්‍රායල තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග ගියහොත් එහි වගකීම ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් බාරගත යුතු බවය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගත් මෙම අර්බුදයට හේතුව වන්නේ ද ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් ගැටුමයි. ඊශ්‍රායල හමාස් ගැටුමට මාස 6 ක් ගත වී ඇත. ඊශ්‍රායල හමාස් ගැටුම් ඔඩුදුවා ඇත්තේ ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දක්වමින්, හමාස් සටන්කාමීන්ට රිසි ලෙස පහර දීමට ඊශ්‍රායලයට අවසර දී ඇති බැවිනි. 

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දීම ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමෙන් පසුවය. අද වනවිට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් 33,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පැවැසෙයි. 

පසුගිය 13 වැනිදා අලුයම් කාලයේ ඉරානය  මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින්, ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.

ඉරාකයේත්, යේමනයේත් ඉරාන හිතවාදී සටන්කාමීන් සිටින අතර, ඔවුන් ද ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළ බව පැවැසෙයි. ඉරානය ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේ ඊශ්‍රායලයෙන් පළිගැනීමක් ලෙසය. 

පසුගිය අප්‍රේල් පළමු වැනිදා, සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී සම්පූර්ණයෙන් විනාශ විය. ඉරාන විප්ලවීය හමුදාවට අයත්, කුද්ස් අතිරේක බලඇණියේ හමුදා ප්‍රධානීන් දෙදෙනකු ඇතුළු 11 දෙනෙක් එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.

ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලය යැයි ඉරානය චෝදනා නැගූවේය. ඊශ්‍රායලය ප්‍රහාරයේ වගකීම බාර ගෙන නැති නමුත් ඉරානයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කිරීමක් ද කර නැත.

ඊශ්‍රායලය, සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට පහර දුන්නේ, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගාසා තීරයේ පවතින ගැටුම්වල ‘දිගුවක්’ ලෙසය. හමාස් සටන්කාමීන්ට ඉරානයෙන් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් අවි ආයුධ සහ ආධාර හිමිවෙයි. අවි පුහුණුව ද ලැබෙයි. 

ඉරානය, මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේ, තමන් ඊශ්‍රාලයට ප්‍රහාරයක් එල්ල කරනවා යැයි ඇමෙරිකාවට දැනුම් දෙමිනි. ඉරානය ඒ බව ඇමෙරිකා රජයට දැනුම් දුන්නේ ලිපියක් මගිනි. ඒ අනුව, පැය 24 ක් ඇතුළත ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි ඇමෙරිකාව අනතුරු ඇඟවීමක් ද කළේය. 

ඊශ්‍රායලයට තමන් පහර දෙන බව ඉරානය පැවැසූ අවස්ථාවේදී, කලාපීය ගුවයන් ගමන් සියල්ල නවත්වා දැමුණි. ඊශ්‍රායලයේ අසල්වැසියා ජෝර්දානය එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කළේය. 

ඉරානයේ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකන් යුද නැව් මධ්‍යධරණී මුහුදේ සීරුවෙන් තැබීමට ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් නියෝග කළේය. ඊශ්‍රායලට පහර දෙන බව පවසමින් ඉරානය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණේ, ‘ඇමෙරිකාව පැත්තකට වී සිටින්න’ යනුවෙනි. ඉරානය වැඩි දුරටත් කියා පවසා තිබුණේ තමන් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය ‘සීමාසහිත’ එකක් වනු ඇති බවය.

ඉරානයෙන් සහ ඉරාකයේත් යේමනයේත් ඉරාන හිතවාදී සටන්කාමීන්ගෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ විට ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’, ‘ඩේවිඩ් ස්ලිංග්’ සහ ‘ඇරෝ සිස්ටම්’ යන ප්‍රති මිසයිල නාශක ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වී සතුරු මිසයිල සහ ඩ්‍රෝන  යානා උඩු ගුවනේදී විනාශ කළ බව වාර්තා විය. 

මධ්‍යධරණී මුහුදේ රැඳී සිටි ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැව් ද පහර දී ඉරාන මිසයිල සහ ඩ්‍රෝන විනාශ කර ඇත. ඉරානයෙන් ආ මිසයිල සහ ඩ්‍රෝන විනාශ කිරීමට බ්‍රිතාන්‍ය හමුදාවේ ද දායකත්වයක් හිමිවුණු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා තිබේ. 


RECOMMEND POSTS