බිලියන13 ක් පැරැණි විශ්වයේ ඡායාරූපය



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දරයේ මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ අපූරු දෙයක් පෙන්වන්න තිබෙනවා යැයි පවසමිනි.

ඇමෙරිකන් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් සහ ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින්, මාධ්‍ය​වේදීන් ධවල මන්දිරයට රැස්වූයේ බයිඩන් කී ‘අපූරු​ දේ’ දැක ගැනීමටය. බයිඩන්, මාධ්‍යවේදීන්ට පෙන්වූයේ ඡායාරූපයකි. එය සැබැවින්ම අපූරු දෙයක් ම විය.

ජනාධිපති බයිඩන් මාධ්‍යවේදීන්ට පෙන්වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය ඔහුට ලබා දී තිබුණු ඡායාරූපයකි. නාසා විද්‍යාඥයන් පසුගිය මාස කීපය තිස්සේ ඔවුන්ට ලැබුණු දත්ත පාදක කර ගනිමින් මෙම ඡායාරූපය නිපදවා තිබුණි. වසර බිලියන 13 ක් ඈත අතීතයේ, විශ්වයේ මන්දාකිණි පිහිටීම සහ මන්දාකිණි නිර්මාණය වූ ආකාරය ඡායාරූපයට ඇතුළත් වෙයි. මෙය වර්ණ ඡායාරූපයකි.

වසර බිලියන 13 ක් ඈත අතීතයේ, විශ්වයේ මන්දාකිණි පිහිටීම සහ මන්දාකිණි නිර්මාණය වූ ආකාරය දැක්වෙන වර්ණවත් ඡායාරූප ලබා ගැනීමට හැකි වුණු පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි.

විද්‍යාත්මක වශයෙන් මෙය ඉතාමත් වැදගත් සිදුවීමකි. මිනිසා විශ්වය ගවේෂණය සහ විශ්වයේ රහස් අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් තැබූ තවත් ඉදිරි පියවරකි. මීට පෙර මිනිසාට කාලය හරහා ආපස්සට යමින් විශ්වය නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. විශ්වය පිළිබඳ අපගේ දැනුම පුළුල් කිරීමට මෙම ඡායාරූපය තාරකා විද්‍යාඥයන්ට උපකාරී වනු ඇතැයි මාධ්‍ය හමුවේදී ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කළේය. ඔහු නාසා ආයතනයෙන් ලැබුණු ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කළේ මහත් උනන්දුවෙන් සහ ආඩම්බරයෙනි.

විශ්වයේ ඡායාරූප ගැනීම අරුමයක් නොවෙයි. එහෙත්, වසර බිලියන 13 ක් පැරැණි ඡායාරූපයක් සකස් කිරීමට නාසා ආයතනය සමත් වූයේ කෙසේද? නාසා විද්‍යාඥයන් එසේ කළේ  ‘ජේම්ස් වෙබ්’ නමැති අති නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති අභ්‍යවශ දුරේක්ෂය ආධාරයෙනි. අති නවීන තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය එසේ මෙසේ එකක් නොවෙයි. ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයට කාලය හරහා අතීතයට නෙත් හෙළන දුරේක්ෂයකි. වසර 24 ක් තිස්සේ වෙහෙස මහන්සි වී නිපදවා ඇති ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය, අභ්‍යවකාශයට යවා අභ්‍යවකාශයේ රැඳවීම සිදු කෙරුණේ 2021 වසරේදීය.

පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් දුරින් ‘ජේම්ස් වෙබ්’ රඳවා තැබේ.  ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය  තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරයි. දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඇත. එසේ කළ හැකි වන්නේ දුරේක්ෂය රඳවා ඇත්තේ, කක්ෂගත වෙන්නේත්, පෘථිවියේ සිට බොහෝ දුරකින් වීම නිසාය.

ඇමෙරිකා අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘නාසා’ (NASA) ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළත්,  යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘එසා’ (ESA) සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘සිසා‘ (CSA) මෙම දුරේක්ෂය නිපදවීමේ කටයුත්තට සම්බන්ධ වී ඇත. 

‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය සතුව අති නවීන තාක්ෂ​ණයෙන් පරිපූර්ණ වූ කැමරා පද්ධතියක් ඇත. ඉතාමත් දුර්වල ආලෝකයක් පවා පහසුවෙන් හසු කර ගැනීමට එම කැමරාවලට හැකියාව ඇත. ‘නාසා’, ‘එසා’ සහ ‘සිසා’ අභ්‍යවකාශ ඒජන්සියට අයත් රටවල් 24 ක විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් දහස් ගණනක් දුරේක්ෂය නිර්මාණය කිරීමට දායක වූ බව පැවැසෙයි.

දුරේක්ෂය ජේම්ස් වෙබ් යනුවෙන් නම් කර තිබෙන්නේ, ‘ඇපලෝ’ සඳ ගමන සිදුවෙද්දී, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේම්ස් වෙබ් ට ගරු කරමිනි. මොහු ඇමෙරිකාවේ නාසා ආයතනයේ දෙවැනි ප්‍රධානියාය. ජේම්ස් වෙබ් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ 1961 වසරේ සිට 1968 දක්වා කාලයේය.

සිවුමහල් උස ගොඩනැගිල්ලක් තරම් විශාල දුරේක්ෂය, අප කවුරුත් හොඳින් දන්නා  ‘හබල්’ දුරේක්ෂයට වඩා තුන් ගුණයකින් විශාලය. හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයකින් ප්‍රබලය. ඒ, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයට සවි කර ඇති රත්තරන්වලින් නිර්මාණය කළ දර්පන (කණ්ණාඩි) හේතුවෙනි. දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ප්‍රධාන දර්පනයේ පළල අඩි 21 කි.

නාසා ආයතනය, දුරේක්ෂය නිපදවීමේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ, ඇමෙරිකානු ‘නෝර්ත්රොප් ග්‍රමන්’ සමාගමටය. ‘නෝර්ත්රොප් ග්‍රමන්’ යනු අභ්‍යවකාශ සහ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ තාක්ෂණ සමාගමකි. නොයෙක් බාධා මැද අවසානයේ දුරේක්ෂය නිර්මාණය කර අවසන් වෙද්දී ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් යැයි පැවැසෙයි.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS