එංගලන්තයේ රෑ මනාලිය



එංගලන්තයේ ලන්ඩන් නුවර රිච්මන්ඩ් හී මේ කිව් උද්‍යාන‍ය පසුගියදා හදිසියේ ම ලෝක අවධානයට ලක් විය. එයට හේතුව යෝධ ලිලී මලක් පිපීම නිසාය. මානෙල්, ඕලු ආදීයට නෑකම් කියන ලිලී ශාකයේ මල, මිනිස් හිසකටත් වඩා විශාලය. වසර 177 ක් පුරා කිව් උද්‍යානය තුළ සැඟවී තිබී අලුතින් සොයා ගන්න ලද මේ යෝධ ලිලී ශාකය, ඒ වර්ගයේ ලෝකයේ ඇති විශාලතම ශාක විශේෂයයි. මෙහි මල් පිපිනේනේ රාත්‍රි කාලයේ පමණි. එහෙයින්, ලෝකයේ විශාලතම රෑ මනාලිය ලෙස මෙය හැඳින්වෙයි.

මෙය නව ශාක විශේෂය නම් කර ඇත්තේ වික්ටෝරියා බොලිවියානා (Victoria Boliviana) කියාය. එහි ශාක පත්‍රයක් මීටර් 2.7ක් පළලය. මුලින් දෙමුහුන් (hybrid) ප්‍රභේදයක් යැයි විශ්වාස කළ මෙය පසුව වසර සීයක් විතර පැරණි යෝධ ලිලී විශේෂයක් ලෙස හඳුනා ගෙන ඇත. වසර 177ක් තිස්සේ කිව් උද්‍යානය තුළ සුරැකිව තිබුණු මේ යෝධ ලිලී ශාකය, සම්පූර්ණයෙන් ම නව ප්‍රභේදයක් බවත් මෙය මේ වර්ගයේ ලෝකයේ ඇති විශාලතම ශාකය බවත් සොයා ගැනීම සිදුවූයේ වසර ගණනාවක් පුරා උද්භිද විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණයකින් පසුවය.

සියවසකට පසුව කරන ලද මේ අපූරු සොයා ගැනීම එහි උද්භිද විද්‍යාඥයන් ඉමහත් සතුටට පත්ව සිටින අතර මෙය ‘ලෝකයේ උද්භිද විද්‍යා මහිමයන් අතර විශිෂ්ටතම එකක්’ ලෙස ඔවුහු හඳුන්වති.  මේ ශාක විශේෂ‍යේ පත්‍ර වනාශ්‍රිතව වැඩෙන විට මීටර් 3.2ක් (අඩි 10ක්) පමණ පළල් ය. පුෂ්පය සෙ.මී. 36ක් (අඟල් 14ක්) විශාලව වැඩේ. එය සාමාන්‍යයෙන් වැඩුණු මිනිස් හිසකට වඩා විශාලය.

මේ ශාක විශේෂය සොයා ගෙන ඇත්තේ 1845 පටන් කිව් ශාකාගාරය (Herbarium) තුළ වියළිව තැන්පත් කළ ශාක නිදර්ශනයක් තුළිනි. කෙසේ වෙතත් මේවායේ ජෛවී නිදර්ශකයන් කිව් ලිලී මල් රෝපණාගාරය (Kew's Water lily House) සහ ප්‍රින්සස් ඔ‍‍ෆ් වේල්ස් ශාක සංරක්ෂණාගාරය (Princess of Wales Conservatory) තුළ දැනට වවා තිබේ. මේ විශේෂයන් ප්‍රමාණයෙන් කුඩාය. හොඳින් වැඩුණු කල පත්‍රය මීටර් 2.7කට (අඩි 8.9කට) වඩා නැත.

මේ වික්ටෝරියා බොලිවියානා යන ශාකයෙහි, ‘බොලිවියානා’ යන කොටස ඇතුළත් කළේ එය දකුණු ඇමරිකානු නිවෙස්වල වවන ජනප්‍රිය ලිලී වර්ගයක් නිසාත්, මේ පර්යේෂණයට එක් වූ බොලිවියානු පර්යේෂකයන්ට ගෞරවයක් දැක්වීමටත්ය. කිව් උද්‍යානයේ විද්‍යාඥවරියක වූ නතාලියා ප්‍රසෙලොම්ස්කා මේ පිළිබඳව මෛස් පවසයි. “මෙවැනි නව විශේෂ සොයා ගැනීම ඉතා වැදගත්. දැනට ‍ජෛව විවිධත්වය වැනසී යන වේගය අනුව නව විශේෂ හඳුනා ගැනීමේ කාර්යය ඒ අතින් ලබන විශාල ජයග්‍රහණයක්.”

මේ නව ශාකය පිළිබඳව වසර දෙකක් තිස්සේ කළ සොයා ගැනීමට අදාළ විද්‍යාත්මක වාර්තාව Frontiers in Plant Science ජර්නලයේ පළ වී තිබේ. මේ ශාක ගණය වික්ටෝරියා යනුවෙන් නම් කරනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍ය උද්භිද විද්‍යාඥයකු වූ ජෝන් ලින්ඩ්ලේ (John Lindley) විසිනි. මේ නව ශාකය සොයා ගන්නට පෙර ඒ ගණයට අයත් ශාක ප්‍රභේද වූයේ දෙකක් පමණය. ඒ වික්ටෝරියා කෘෘසියානා (Victoria Cruziana ) හා වික්ටෝරියා ඇමසෝනිකා (Victoria Amazonica) යන වර්ග දෙක ය.  ‍

මේ නව වික්ටෝරියා බොලිවියානා ප්‍රභේදය බොලිවියාවේ ලයනෝස් ඩි මොක්සොස් ප්‍රදේශයේ ජලජ පරිසර පද්ධතිවල වැඩේ. ඒවායේ මල් පිබිදෙන්නේ රාත්‍රි කාලයට වන අතර මුල දී සුදු පැහැති වන මල් පසුව රෝස පැහැයට හැරේ. පාන්දර ජලය මතු පිටට විත් පිපිී පෙති විදහා මද්දහන වන විට පෙති හැකිළී යයි.

බොලිවියානා ශාකයේ පත්‍ර එස් හැඩයක් ගන්නා අතර ඒවා දාරයෙන් උඩ අතට නැමී විහිදෙයි. ඒ පත්‍ර දාරය කෲසියානා පත්‍රයේ දාරයට වඩා උසින් අඩු වන අතර ඇමසෝනිකා ප්‍රභේදයට වඩා උසින් වැඩිය. පත්‍ර දාරය උඩු අතට විහිදෙද්දී රැලි වැටීම එම ශාකයේ විශේෂත්වයයි. පත්‍ර නටුව කටු සහිතය. එයින් මසුන්ගෙන් හා වෙනත් සතුන්ගෙන් වන හානි වළකාලයි. එහි මතුපිට හා ඇතුළත කොටස මෘදුය. පත්‍රයේ තැන් කීපයක කට්ට් කීපයක් විවරව ඇත්තේ මතු පිට එක්වන ජලය ඉවත්වීම සඳහාය. බොලිවියානා ප්‍රභේදයේ විශාල නිදර්ශනයක් බොලිවියාවේ ලා රින්කොනඩා උද්භිද උද්‍යානයේ ඇත. එහි පත්‍රයක ප්‍රමාණය මීටර් 3.2ක් (අඩි 10.5ක්) පළලය. මෙහි මල් සෙ.මී. 36ක් තරම් විෂ්කම්භයෙන් යුක්තය.

ලෝකයේ ශාක එකතුවලට කිසිම තැනක මේ ශාකයේ මුලික නිදර්ශන නොමැති වීම නිසා මේ වික්ටෝරියා ශාක ගණයේ ගති ලක්ෂණ සකස් කිරීම අසීරු එකක් විය. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ යෝධ ලිලී මල් විශේෂයන් වනගත පරිසරවලින් සොයා ගැනීම දුෂ්කර වීමය. වික්ටෝරියා බොලිවියානා ශාකය පිළිබඳ දත්ත එක් රැස් කිරීමේ දී මේ පර්යේෂණ කණ්ඩායම, මේ ශාකයට අදාළ ඓතිහාසික වාර්තා, උද්‍යාන විද්‍යාවට සම්බන්ධ තොරතුරු මෙන්ම ‍භූගෝලවිද්‍යාත්මක කරුණු හා ඔවුන් පර්යේෂණයට භාජනය කළ නිදර්ශක ගැන විස්තරද ඇතුළත් කෙරිණි.

එපමණක් නොව ශාක හඳුනා ගැනීමට සැකැසූ ‘අයිනැචුරලිස්ට්’ (iNaturalist) නම් යෙදවුම හරහා ලිලී මල් ගැන සමාජ මාධ්‍යවල පළ වූ පෝස්ටුවලින් ද පුරවැසි විද්‍යාත්මක දත්ත එක්රැස් කර ගනු ලැබීම සිදුවිය. මෙහිදී තහවුරු වූ වැදගත් කරුණක් නම් මේ වික්ටෝරියා බොලිවියානා ශාකය, අනික් ශාක දෙක වූ වික්ටෝරියා කෲසියානා හා වික්ටෝරියා ඇමසෝනියා ආදියට වඩා ජානමය වශයෙන් කැපී පේන වෙනස්කම්වලින් යුක්ත බවය. එහෙත් එය වික්ටෝරියා කෲසියානා ශාකයට වැඩි නෑකමක් ඇතැයි පෙනී ගියේය. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට වික්ටෝරියා බොලිවියානා ශාකය වසර මිලියනයකට පමණ පෙර කාලයක වික්ටෝරියා කෘෘසියානා ශාකයෙන් වෙන් ව වැඩන්නට ඇත. කිව් උද්‍යානයට අනුබද්ධ විද්‍යා පර්යේෂකයකු, උද්භිද හා උද්‍යාන විද්‍යා විශේෂඥයකු වූ කාලෝස් මග්දලේනා, වික්ටෝරියා ගණයට අයත් තුන්වැනි ශාක වර්ගයක් තිබිය හැකියැයි විශ්වාස කරමින් වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල යෙදුනු අයෙකි. ඔහු මේ ගැන විපරම් කරමින් 2016 වසරේදී බොලිවියාවේ සාන්ත කෲස් ඩි ලා සියෙරා උද්භිද උද්‍යානයට හා ලා රින්කොනඩා උද්‍යානයට මේ තුන්වැනි ගණයට අයත් යැයි සැකකළ යෝධ ලිලී ශාකයේ බීජ එකතුවක් පරිත්‍යාග කළේය.

කිව් උද්‍යානයේ පර්යේෂකයන්ට අමතරව එහි සේවය කරන ඇමරිකානු විශේෂඥ කණ්ඩායමක් ද මේ කටයුත්තට එක් වී ඇත. එහි පර්යේෂණ ප්‍රධානී ආචාර්ය ඇලෙක්ස් මොන්රෝ ය. “මේ නව වික්ටෝරියා ශාකය සොයා ගැනීම උද්භිද විද්‍යාවේ විශාල ජයග්‍රහණයක්. එසේම ශාක විවිධත්වයට අදාළව කරන ලද විශිෂ්ට පර්යේෂණයක්. මේ සඳහා අපට උද්භිද විද්‍යාඥයන්ට අමතරව, උද්‍යාන විද්‍යාව හා උද්භිද විද්‍යා චිත්‍රශිල්පය යන විෂයයන්ගේ විශේෂඥ පිරිසකුත් බොලිවියාවේ විශේෂඥයන් ගණනාවකුත් ද මීට සහභාගි වුණා.” යැයි මොන්රෝ කියයි. “කිව් ඉතිහාසයේ විශේෂ තැනක් මේ නව වික්ටෝරියා ශාකයට හිමි වෙනවා. 1830 ගණන්වල මේ කිව් උද්‍යානය වසා දමන්නට බලධාරීන් තීරණය කළත් එය නොවැසුණේ මෙහි එක් රැස් කර තිබූ ශාක සංරක්ෂණයේ වැදගත්කම නිසයි. ඒ සංරක්ෂිත ශාක අතර වසර 177ක් වැසී තිබී හමුවුණු මේ නව ශාක ප්‍රභේදය සොයා ගැනීම මේ සියවසේ පරිසරය හා සම්බන්ධව සිදු වූ සුවිශේෂ ජයක් ලෙස හඳුන්වන්න පුලුවන්.” මොන්රෝ වැඩි දුරටත් කියා සිටී. “අපේ මේ විස්මිත සොයා ගැනීම නිසා, අප මේ අංශයෙන් යොදා ගත් විවිධ තාක්ෂණයන් නිසා, අනාගතයේ තවත් මෙවැනි නව සොයා ගැනීම් කරන්නට තවත් අය පෙල‍ඹෙන්නේ නම් එය උද්භිද විද්‍යා ක්ෂේත්‍රයට විශාල සෙතක් සලසන කරුණක් වේවි” යැයි නතාලියා ප්‍රසෙලොම්ස්කා අවසාන වශයෙන් පවසයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS