මහ රැජින සමුගනී



රැජින කී සැණින්, අපේ සිත්වල මැවුණේ ඇගේ රුවය. ලෝකයේ අපට ඇය ‘රැජින’ වුවත්, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇය ඔවුන්ගේ මවු රැජිනයි. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කළක් රජ කිරුළ දැරූ තැනැත්තිය වන්නේ ද ඇයයි. එපමණක් නොව, ලෝකයේ වැඩිම කාලයක් රජ කිරැළක් දැරුවේ ද ඇයයි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය සිදුවූයේ පසුගිය 8 වැනිදාය. 96 හැවිරිදි එලිසබත් රැජිනගේ අභාවය ලොව කම්පා කළේය. ඇගේ අභාවය නිල වශයෙන් නිවේදනය කළේ බකිංහැම් මාලිගයයි. වයස අවුරුදු 26 දී මහා බ්‍රිතාන්‍යයේ එසේත් නැතිනම් එක්සත් රාජධානියේ කිරුළ දැරූ ඇය, වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළාය. ඇය ලොව පුරා ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වූයේ ඒ නිසාය.

මහ රැජින වුවත් නිහතමානී තැනැත්තියක වූවාය. දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් ඇරැඹුණු 1952 වසරේදීය. පසුගිය සමයේ මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය. පළමු දෙවැනි පමණක් නොව තෙවැනි සහ සිවුවැනි කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන සිටියදී ඇය ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූවාය. ඒත් ඇයේ රෝගී තත්ත්වය බරපතල නොවිණි. වෛද්‍යවරු ඇය ගැන පැය 24 පුරා ඇස ගසාගෙන සිටියහ. කෙසේ නමුත් අයහපත් සෞඛ්‍ය හේතුවෙන් මහ රැජින ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයෙන් බැහැර වූවාය. ඇය පසුගිය කාලය පුරාවට මෙන්ම අවසන් සුසුම් හෙලද්දී පවා පදිංචිව සිටියේ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මන්දිරයේය. මෙය මහ රැජිනගේ නිවාඩු නිකේතනයකි.

‘මහ රැජිනට හොඳ නැහැ. ඇගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බයයි. මේ වනවිටත් ඇගේ දරු දැරියන් සහ මුණුපුරු මිණිපිරියන් බැල්මොරාල් මන්දිරය වෙත පැමිණ සිටිනවා. නැතිනම් පැමිණෙමින් සිටිනවා’ යැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේ 8 වැනිදා සවසය. මහ රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය රජ කිරුළට උරැමකම් කියන්නේ පුතු චාල්ස් කුමරුන්ය. චාල්ස් කුමරු තෙවැනි චාල්ස් නමින් කිරුළ දරනු ඇත. අවසන් මොහොතේ චාල්ස් කුමරු මවු රැජින අසල සිටි බව ද පැවැසෙයි.

1926 අප්‍රේල් මස 21 වන දින ලන්ඩනයේ නේෆියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබේ. ඇය කිරැළු පැලැදි වසරේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලෝක ප්‍රකට අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේ විරුවෙකු ලෙස ද සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ය.

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් පක්ෂ නායකත්වය හිමිවුණු ලිස් ට්‍රස් මහ රැජින අතින් පත්වීමේ ලිපිය ලබා ගත්තේ පසුගිය 6 වැනිදාය. එම අවස්ථාවේදී ද රැජින සිටියේ අයහපත් සෞඛ්‍යයෙනි. මාග්‍රට් තැචර් සහ තෙරේසා මේ ගෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු තෙවැනි කාන්තාව ලිස් ට්‍රස් ය.


RECOMMEND POSTS