අපි දෙන්නයි අපේ දෙන්නයි



'හම් දෝ හමරේ දෝ' Hum Do Hamare Do තම ආදරවන්තියගේ සතුට වෙනුවෙන්, පවුලක් හදන තරුණයකු ගැන කතාවකි. අභිෂේක් ජයින් අධ්‍යක්ෂණ කළ 'හම් දෝ හමරේ දෝ' පසුගිය ඔක්තෝබර් 29 වැනිදා 'ඩිස්නි හොට් ස්ටාර්'  Disney+ Hotstar හරහා එළිදැක්වුණු අතර, එය මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී අවසන්ය.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් සිනමාහල් සම්බන්ධයෙන් පැනැවූ තහංචි සැලකිල්ලට ගනිමින්, චිත්‍රපටය 'ඩිස්නි හොට් ස්ටාර්' Disney+ Hotstar සමාගමට විකිණීමට අධ්‍යක්ෂවරයාත් නිෂ්පාදන කණ්ඩායමත් තීරණය කර තිබුණි. Hum Do Hamare Do පැය දෙකයි මිනිත්තු 8 ක ධාවන කාලයකින් යුක්තය.

පවුල ආදරය සහ සතුට පාදක කර ගනිමින් Hum Do Hamare Do චිත්‍රපටය නිර්මාණය වී ඇත. චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනා පවසා ඇත්තේ එය වෙනස් විදියේ අලුත් කතා තේමාවක් බවය.

චිත්‍රපටයේ ප්‍රධාන පෙම්වතා සහ පෙම්වතිය ලෙස රාජ්කුමාර් රාඕ සහ ක්‍රිති සැනොන් චරිත නිරූපණය කරති. රාජ්කුමාර් රාඕගේ චරිතය වන්නේ දෘව් ය. මව සහ පියා නොමැති අනාථයකු වුවත් දෘව් හොඳින් ඉගෙන ගෙන ජීවිතය ජය ගනිමින්, වර්චුවල් රියැලටි මෘදුකාංගයක් නිර්මාණය කර එයින් සාර්ථක වූ තරුණයකි.

චිත්‍රපටයේ වර්තමාන කතාව ඇරැඹෙන්නේ ඔහුට අන්යා (ක්‍රිති සැනොන්) හමුවීමත් සමඟය. අන්යාගේ මව සහ පියා අනතුරකින් මියගොස් ඇති අතර ඇය ජීවත් වන්නේ මාමා සහ නැන්දා සමඟය. අන්යා වෙනුවෙන් දෘව් ඔහුට පියකු සහ මවකු සොයා ගනී. එම දෙදෙනාම කුඩා කළ ඔහුගේ ජීවිතයට සම්බන්ධ වුණු දෙදෙනෙකි.

එම දෙදෙනාගේ චරිතවලට රංගනයෙන් දායක වන්නේ, බොලිවුඩ් සිනමාවේ ප්‍රවීන ප්‍රහසන නළුවකු වන පරේෂ් රවාල් සහ ප්‍රවීණ සිනමා මෙන්ම වේදිකා නිළියක වන රට්නා පතාක් ෂා ය. රට්නා ට පෙර එම චරිතයට තෝරා ගෙන ඇත්තේ ප්‍රවීණ බොලිවුඩ් නිළි ඩිම්පල් කපාඩියා යැයි ද පැවැසෙයි. අවසන් මොහොතේ එම තීරණය වෙනස් විය.

31 හැවිරිදි රාජ්කුමාර් රාඕ වඩාත් ජනප්‍රිය හින්දි සිනමා නළුවකු ලෙසය. ඉන්දීය රාජ්‍ය සිනමා සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයත්, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ තුනක් ද ආසියානු පැසිෆික් සිනමා සම්මාන උළෙලේ දී හොඳම සහාය නළුවාට පිදෙන සම්මනයත් රාජ්කුමාර් රාඕ හිමිකරගෙන ඇත.

Love Sex Aur Dhokha (2010) චිත්‍රපටයෙන් රාජ්කුමාර් රාඕ සිනමාවට අවතීර්ණ විය. Gangs of Wasseypur – Part 2 (2012) සහ Talaash: The Answer Lies Within (2012) යන චිත්‍රපටවල සහාය නළුවා ලෙස රංගනයෙන් එක් විය. රාජ්කුමාර් රාඕ රසික හදවත් දිනා ගනිමින් විචාරක පැසැසුමට ලක්වූයේ Kai Po Che (2013) චිත්‍රපටයෙන් පසුවය.

රාජ්කුමාර් රාඕ, ප්‍රධාන චරිත නිරූපණය කළ 2018 වසරේ තිරගත වුණු 'ස්ත්‍රී' (Stree) බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීය. මෙම 2021 වසරේ තිරගත වුණු Roohi චිත්‍රපටය 'ස්ත්‍රී' (Stree) චිත්‍රපටයේ දෙවැන්නය. මෙය පළමු චිත්‍රපටය මෙන් ජනප්‍රිය නොවිණි.

ක්‍රිති සැනොන්, හින්දි චිත්‍රපට හරහා වැඩි වැඩියෙන් දකින්න ලැබුණත්, ඇගේ සිනමා දිවිය ආරම්භ වූයේ 1994 වසරේ තිරගත වුණු මහේෂ් බාබු ප්‍රධාන චරිත නිරූපණය කළ '1: Nenokkadine' චිත්‍රපටයෙනි.

2014 වසරේ, සබීර් ඛාන්ගේ Heropanti චිත්‍රපටය හරහා ක්‍රිති සැනොන්ගේ බොලිවුඩ් ආගමනය සිදුවිය. Dilwale (2015), Bareilly Ki Barfi (2017), Luka Chuppi (2019), Housefull 4 (2019), Mimi (2021) යනු ක්‍රිති සැනොන්ගේ සාර්ථක සිනමා නිර්මාණයන්ය. Dilwale සහ Housefull 4 බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ චිත්‍රපටය.

ක්‍රිති සැනොන් නිළියක් පමණක් නොව විලාසිතා නිර්මාණ ශිල්පිනියක් ද වෙයි. 2019 වසරේ 'ෆෝබ්ස් ඉන්දියා' සගරාවේ සාර්ථක ඉන්දීය සිනමාකරුවන් 100 දෙනාගේ ලැයිස්තුවේ ක්‍රිති සැනොන් ද සිටී.


RECOMMEND POSTS