‘රෆා’ නගරයට පහර දෙන්න ඊශ්‍රායල අගමැති තීරණය කරයි



ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි ‘රෆා’ නගරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට දිනයක් නියම වී ඇතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍නවරයා මේ බව නිවේදනය කළේ, ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය. රෆා නගරයට පහර දීමට ඊශ්‍රායල යුද කවුන්සිලයේ ද අනුමැතිය හිමි වී ඇතැයි පැවැසෙයි.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේ, පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය.

ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින්, ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරද්දී උතුරු ගාසාවේ වැසියන්, දකුණු ගාසාවේ රෆා නුවරට පලා ගියහ. ගාසාව ඊශ්‍රායලයටත්, ඊජිප්තුවටත් මායිම්ව පිහිටා ඇති බිම් තීරුවකි. ගාසා තීරය ඊශ්‍රායලයට මායිම් වන්නේ රෆා දේශසීමා පිවිසුම හරහාය. ඊජිප්තුව හරහා ජාත්‍යන්තර මානුෂීය ආධාර ගාසා තීරයට ලැබීම සිදුවන්නේ ද මෙම රෆා දේශසීමා පිවිසුම ඔස්සේ ය.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමිවුණු මිලියන 1.4 ක පිරිසක් දෙනා රැඳී සිටින්නේ, රෆා නගරයේය. රෆා නගරයේ හමුදා මෙහෙයුමක් සිදු කරන්නේ නම්, එය මහා විනාශයකට හේතුවක් වේවි යැයි ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය පළ කරන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවා කනස්සල්ල පළ කර ඇත.

 (අල් ජසීරා)


RECOMMEND POSTS