හමාස් සටන්කාමීහු 10,000 ක් මරුට



ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, යූනිස් ඛාන් නගරයේ හමාස් සටන්කාමීන්ගේ බලය සම්පූර්ණයෙන් බිඳ දැමීමට තම හමුදාව සමත් වූ බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් ආරම්භ කිරීමෙන් පසු, මේ දක්වා මියගිය හමාස් සටන්කාමීන් ගණන 10,000 ක් බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ, තම හමුදා එල්ල කළ ප්‍රහාරවලින්, තවත් හමාස් සටන්කාමීන් 10,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.

‘යූනිස් ඛාන් හමාස් සටන්කාමීන්ගේ එක් බලකොටුවක්. අප සාර්ථකව, යූනිස් ඛාන් නගරයේ, හමාස් සටන්කාමීන්ගේ බලය බිඳ දැම්මා. අපගේ මීළඟ ඉලක්කය වන්නේ රෆා නගරයයි. මේ වනවිට හමාස් සටන්කාමීන් රෆා නගරයට පසු බා සිටිනවා’ යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගාසා තීරයේ යුදමය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කරමිනි.
ගාසා තීරය, ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවටත් මායිම් වෙයි. රෆා යනු ඊජිප්තුව ගාසා දේශසීමාව අසල පිහිටි නගරයයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් දිවි බේරාගත් පලස්තීන සරණාගතයන් රැඳී සිටින්නේ මෙම නගරයේය.

ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමේ අරමුණ ඇතිව, ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන්නේ, පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් පිරිසක්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊට ප්‍රතිචාර දක්වමිනි.

එසේ ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල වැසියන් 300 කට ආසන්න පිරිසක් ප්‍රාණඇපයට ගනිමින්, ගාසා තීරයට රැගෙන ගිය අතර, තවමත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 130 ක් පමණ හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව පැවැසෙයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ, හමාස් සංවිධානය මුලිනුපුටා දමා, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින තම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට යැයි පැවැසෙයි.

මේ අතර, මාස 4 කට ආසන්න කාලයක් තිස්සේ ඊශ්‍රායල හමුදා, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් 27,019 කට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි. මියගිය පලස්තීන වැසියන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා ඇත. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ ගාසා වැසියන් ගණන 66,139 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS