ලෝක නායකයෝ සොව පළ කරති



ඉරානයේ දකුණුදිග කෙර්මාන් නගරයේ, ෂහේබ් අල් සාමාන් මුස්ලිම් පල්ලිය අසල සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් ඉරාන වැසියන් 103 දෙනකු මියයෑමත් 211 දෙනකු තුවාල ලබා රෝහල්ගත කිරීමත් සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු ඉරාන රජයට කනගාටුව පළ කර තිබේ.

බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ ඉරාන වැසියන්ට සොව පළ කරමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා ඇත්තේ එම කුරිරු බෝම්බ ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙලා දකින බවය. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පැතීමට ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කටයුතු කර තිබේ.

ප්‍රහාරය හෙලා දකිමින්, යුරෝපා සංගමය පවසා ඇත්තේ, ඊට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට ඉරාන ආරක්ෂක අංශ කටයුතු කළ යුතු බවය.

ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා, බෝම්බ ප්‍රහාරය හෙලා දකිමින්, පවසා ඇත්තේ, ජනරාල් සුලෙයිමාන්ට ගෞරව දැක්වීමට පැමිණ මියගිය සියලු දෙනා වීරයන් බවය. ඉරාන හිතවාදී යේමනයේ හවුති සටන්කාමීන් ද බෝම්බ ප්‍රහාරය හෙලා දැක තිබේ.

ඉරනයේ අසල්වැසියා වන ඉරාකය, නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ඉරානයේ බෝම්බ ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බවත් ඊට සම්බන්ධ අපරාධකරුවන්ට කිසිසේත් සමාව දිය නොහැකි බවත්ය. ඉරාන රජයට ඉරාක රජයේ සහාය නොඅඩුව හිමිවන බව ද ඉරාකය පවසා ඇත.

මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම් මැලේසියානුවන් වෙනුවෙන්, ඉරාන රජයට ශෝකය පළ කර ඇත. අසරණ අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු එම කුරිරු ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව මැලේසියානු අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

ඉරානයේ සමීපතම මිතුරකු වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ශෝකය පළ කර තිබේ. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ද බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර ඇත.


RECOMMEND POSTS