රෆා නගරයට පහරදී ප්‍රාණඇපකරුවන් මුදා ගනී



ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, රෆා නුවර, හමාස් සටන්කාමීන්ට පහර දී, සටනකාමීන්ගේ ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු මුදාගත් බව ඊශ්‍රායල හමුදාව පැවැසීය.

ඊශ්‍රායල හමුදාවට අනුව, ඔවුන්ට මුදා ගැනීමට හැකිවූයේ, 60 හැවිරිදි සයිමන් මාර්මන් සහ 70 හැවිරිදි ලුවිස් හාර්ය. හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගියේ, මීට දින 128 කට පෙර, පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය.

ඊශ්‍රායල හමුදා, මේ වනවිට, දිගින් දිගටම රෆා නුවරට පහර දෙයි. ඒ, රෆා නුවර ගාසා පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලා ඇති අවස්ථාවකය.

එසේ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 53 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන පාලන අධිකාරිය පැවැසීය. එසේ ජීවිතක්ෂයට පත්වුණු පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව වාර්තා වේ. රෆා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය පලස්තීන වැසියන් ගණන 100 කට වැඩිය.


RECOMMEND POSTS